හිටපු ලෝක විවාහක රූ රැජින රෝසි සේනානායක පසුගිය වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ දිනූ පුෂ්පිකා ද සිල්වා වෙත රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යැවීමට කටයුතු කර තිබේ.
පසුගියදා ඇමරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 2021 ලෝක රූ රැජින අවසන් තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට පුෂ්පිකා ද සිල්වා හට වරම් ලැබුණු අතර එහිදී අවසන් හය දෙනා අතරට තේරුණ පුෂ්පිකා කියා සිටියේ තමන් එම තරගයේදී 4 වැනියා වූ බවයි. ඇය 4 වැනියා යැයි පැවසීම පසුගිය දිනව සමාජ මාධ්‍යය ඔස්සේ මහත් ආන්දෝලනයට තුඩුදුන් කාරණවක් විය. එම නිස ඇය දෙස බොහෝ මිනිසුන් ඉතා සමච්චල් සහගත ආකාරයෙන් බැලූහ.
ශ්‍රී ලංකාවට පැමිණි පසු පුෂ්පිකා වීඩියෝ සාක්ෂියකින් කියා සිටියේ තමාට 4 වැනියා යැයි කියන්නට උපදෙස් දුන්නේ එම තරගාවලියට ලංකාවෙන් ඇමරිකාවට ගිය සහායක කණ්ඩායමේ සිටි රෝසි සේනානායක මහත්මිය බවයි. ඉන්පසුව ඇය රෝසි සේනානායකට බරපතල චෝදනා රැසක් සිදු කරමින් ‘truth with chamuditha’ යූටියුබ් නාලිකාවේ මිනිත්තු 46 ක සම්මුඛ සාකච්ඡාවකට එක්වූවාය.
එම සම්මුඛ සාකච්ඡාවේදී ඇය පෙන්වා දුන්නේ තමන් අවසන් තරගයේදී ජයග්‍රාහිකාව ලෙස සටහන්වූ ලකුණු සටහන පවා දැක තිබූ නමුත් අවසන් මොහොතේ තමන්ගේ ජයග්‍රහණය වෙනස් වූයේ රෝසි සේනානායක මහත්මිය සිදු කළ කුමන්ත්‍රණයක් නිසා බවයි. රෝසි මහත්මිය තරගයේ ප්‍රධාන සංවිධායකවරියක සමග දිවා භෝජනයකට එක්වූ බවත් එයින් අනතුරුව පැවති තරග වටයේදී තමන්ගේ ස්ථානය පහත වැටී ඇති බව විස්මයෙන් දැනගත් බවත් ඇය එහිදී පැවසුවාය.
සදාකාලිකව එකම විවාහක රූ රැජින කිරුළ තමන් සතු කරන්නට පවතින රෝසිගේ ආත්මාර්ථය නිසා තමන් මෙරටට රැගෙන එන්නට ඉඩ තිබූ මෙවර කිරුළ ශ්‍රී ලංකාවට අහිමිව ගිය බව පුෂ්පිකා එහිදී සංවේගයෙන් දන්වා සිටියාය. තමන්ගේ වියදමින් රෝසි මහත්මිය ඇමරිකාවට ගිය බවත් එසේ ගොස් තමන්ගේ ජයග්‍රහණය පවා වැළැක්වූ බවත් ඇය චෝදනා කරයි. මෙම සම්මුඛ සාකච්ඡාවේදී රෝසි සේනනායක මහත්මිය හා චන්දිමාල් ජයසිංහ සංවිධායකවරයා ඉලක්ක කර පුෂ්පිකා ද සිල්වා තවත් බරපතල චෝදනා රැසක් ගොනු කර තිබූ අතර ‘නාකි රූ රැජිණ’ වැනි අපහාසාත්මක යෙදුම්ද ඇය භාවිත කළාය.
මින් ඉහත ලෝකය පුරා ආන්දෝලනයක් ඇති කරමින් කැරොලයින් ජූරි විසින් පුෂ්පිකාට ලැබුණ කිරුළ ගලවනු ලැබූ අවස්ථාවේ පුෂ්පිකා වෙනුවෙන් සටන් කරන්නට හා කැරොලයින්ගේ ක්‍රියාව හෙළා දකින්නට ක්‍රියා කර තිබූ රෝසි සේනානායක මහත්මිය ඉලක්ක කර අභූත චෝදනා නැගීම නිසා රෝසි ඇගේ නීතීඥයින් මාර්ගයෙන් රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යැවීමට කටයුතු කර ඇත. තමන් කර ඇති අසත්‍ය ප්‍රකාශ නිවැරදි කර සමාව ඉල්ලා සිටින ලෙසත් එසේ නැතිනම් කීර්ති නාමය පළුදු කිරීමේ අලාභ වන්දි මුදල ගෙවන ලෙසත් එමගින් ඉල්ලා ඇත. මෙයට පුෂ්පිකා තවම ප්‍රතිචාර දක්වා නැත.