― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsයල කන්නයේ පොහොර මිලදී ගැනීමට වවුචරයක්

යල කන්නයේ පොහොර මිලදී ගැනීමට වවුචරයක්

මෙවර යල කන්නයේදී ගොවි ජනතාවට යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා ඊයේ (03) තමන් ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මෙරටට පොහොර ආනයනය කරන සියලුම සැපයුම් ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද (04) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

යල කන්නය සහ ඉදිරි මහ කන්නයේ රටට අවශ්‍ය පොහොර සැපයීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා. මෙවර යල කන්නයේ දී යූරියා සහ බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් සහ හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් බැගින් සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම මුදල් යොදාගැනීම මගින් ගොවීන්ට යල කන්නයේ දී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් තමන්ට අවශ්‍ය යූරියා පොහොර හෝ බණ්ඩි පොහොර මිලදී ගැනීමට ඉඩ සැලසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම 2023/24 මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්වන අතර රටට අවශ්‍ය පොහොර සැපයීම සම්පූර්ණයෙන් ම පුද්ගලික අංශය වෙත පැවරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනවා. රජයට අයත් පොහොර සමාගම් 02 ඔවුන් සතු මුදල් යොදා ගනිමින්, පොහොර ආනයනය හා බෙදාහැරීම සිදු කළ හැකියි.

ගොවීන්ට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා ගොවිජනතාවට ඔවුන්ගේ ගිණුම්වලට රුපියල් 40,000 -50,000 හෝ ඊට වැඩි මුදලක් රජය විසින් බැර කිරීමට නියමිත බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා. කෙසේ වුව ද පොහොර ප්‍රමිතිය පිළිබඳව අධීක්ෂණය රජය විසින් අඛණ්ඩව සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.