කොරෝනා වසංගතය පැතිරීම ක්‍රීඩාව ඇතුළු බොහෝ අංශවල අර්බුදයට තුඩු දී තිබේ. ජාතික කණ්ඩායම් ජෛව බුබුළු තුළ තම පුහුණුවීම් සිදු කළ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවමත් නිවෙස්වල රැඳී සිටීමට සිදු වී ඇත. මෙහිදී මතු වන ප්‍රධාන ගැටලුවක් වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශාරීරික යෝග්‍යතාව ප්රශස්ත මට්ටමක පවත්වා ගැනීමට ඇති හැකියාව අවම වීමයි. ශාරීරික යෝග්‍යතාව ඕනෑම ක්‍රීඩාවක සාර්ථකත්වයට තුඩු දෙන හේතුවක් බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොරෝනා වසංගතය මැද වුව ද මේ පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ.
ශාරීරික යෝග්‍යතාව ක්‍රීඩාවේ තාක්ෂණික හා උපායික කුසලතා වැඩි දියුණු කර ගැනීමට උපකාරී වන අත්‍යවශ්‍ය සාධකයකි. නිවෙසින් පිට වීම තහනම් කිරීම, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන වැසීම වැනි කරුණු හේතුවෙන් පුහුණු ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී උදාසීන ජීවන රටාවකට ක්‍රීඩකයන් හුරු වීම නොදැනීම සිදු වේ. එය සෞඛ්‍යයට හා පුහුණු මට්ටමට අහිතකර ලෙස බලපාන හේතුවක් බව ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩිව අවධාරණය කර ගත යුතු වේ.
පුහුණුව නැති වීමෙන් ශරීර ස්කන්ධය වැඩිවීම, සාමාන්‍ය හා විශේෂ ශාරීරික යෝග්‍යතාව අඩු වීම වැනි ගැටලුවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. දිගුකාලීන අඩු ශාරීරික ක්‍රියාකාරකම් සෞඛ්‍යයට හා ශාරීරික යෝග්‍යතාවට හානිකර බැවින් පර්යේෂකයන් ශාරීරික ධාරිතාව පවත්වා ගැනීම සඳහා නිවෙසේ සිටම ව්‍යායාම්වල නිරත වන ලෙස නිර්දේශ කර ඇත.
නිවෙසේ සිට ශාරීරික ව්‍යායාම් වල යෙදුණ ද එය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩකයාගේ උනන්දුව මෙන්ම පුහුණුකරුවකුගේ උපදෙස් ගැනීම වැදගත් වේ. පුහුණුකරුවකුගේ අධීක්ෂණය මඟින් ක්‍රීඩකයන්ගේ වැරදි හොඳින් හඳුනා ගැනීමට හැකි වනු ඇත. එම නිසා නිවෙසේ සිට කිරීමට අවශ්‍ය ශාරීරික ව්‍යායාම් හා පුහුණු වීම් පිළිබඳ මාර්ගගත උපදෙස් ලබාදීමත් ඒවා පිළිබඳ වාර්තාවක් ක්‍රීඩකයන්ගෙන් ලබා ගැනීමත් අවශ්‍ය වේ.
සීමා ඉවත් කළ පසු පුහුණුවීම් ආරම්භයට පෙර ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පූර්ව පරීක්ෂණ (Pre-fitness test) මගින් හඳුනා ගෙන ප්රශස්ත මට්ටමට ක්‍රීඩා දස්කම් ළඟා කර ගත හැකි වන පරිදි පුහුණු වැඩසටහන වෙනස් කිරීම කළ යුතු වේ. ප්රශස්ත පුහුණු මට්ටමකට ළඟා වීමට හැකි වන පරිදි ව්‍යූහාත්මක පුහුණු වැඩසටහන් සකස් කළ යුතු අතර මෙහිදී ක්‍රීඩකයන්ගේ ශාරීරික මෙන්ම මානසික යෝග්‍යතාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මෙවන් ක්‍රියාමාර්ග ක්‍රීඩකයන්ගේ කාර්ය සාධනය පිරිහීමකින් තොරව දියුණු කර ගැනීමට හා පුහුණු ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමට ඉවහල් වනු ඇත.
නඳුනි විජේතුංග
ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය