― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහොරෙන් ලංකාවට ආ චීන ජාතිකයා ගුවන්තොටේ යකා නටයි

හොරෙන් ලංකාවට ආ චීන ජාතිකයා ගුවන්තොටේ යකා නටයි

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු අද (19) අලුයම අත්අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් විසින් පියවර ගැනීමේදී එම චීන ජාතිකයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස හැසිරී ඊට බාධා එල්ල කර තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු සමඟ පැමිණි තවත් චීන ජාතිකයෙක් සහ ඊජිප්තු ජාතිකයෙකු ද එම චීන ජාතිකයාට සහාය පළකරමින් කළහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.
ව්‍යාපාරිකයන් බව පවසමින් චීන ජාතිකයන් දෙදෙනෙකු සහ එක් ඊජිප්තු ජාතිකයෙකු ඊයේ (18) රාත්‍රියේ 09.50ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරණ ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසන පහසුකම් යටතේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙලෙස පැමිණි විදෙස් ජාතිකයින් තිදෙනා මෙරටට ඇතුළු වීම සදහා සිය නිශ්කාශන කටයුතු කරගැනීම සදහා ආගමන විගමන කවුළුව වෙත පැමිණ ඇත්තේ පැය දෙකකට පමණ පසුවයි.

මෙහි සිටි එක් චීන ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා වෙත අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පිළිබඳව හට ගත් සැකය මත මෙම ගුවන් ගමන් බලපත්‍රය සහ ඔහුගේ අනෙකුත් ලියකියවිලි, කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඇති දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත ඉදිරිපත් කිරීමට එහි සේවය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ පුද්ගලයෙකුගෙන් සොරා ගෙන, එහි ජීවදත්ත පිටුව වෙනස් කර කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුව ඔහුගෙන් දීර්ඝ ලෙස මේ පිළිබඳව කරුණු විමසා සිටියදී, ඔහුගේ සැබෑ චීන ජාතික ගුවන් ගමන් බලපත්‍රය සොයා ගෙන, ඔහු චීන ජාතිකයෙකු බව සනාථ කර ඇති බව සඳහන්.

මෙම චීන ජාතිකයා ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කර ඇත්තේද, මෙසේ කූඨ ලෙස සකස් කළ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රය බව එය නිරීක්ෂණය කිරීමෙන් තහවුරු කරගෙන තිබෙනවා.

පසුව මෙම චීන ජාතිකයා ආපසු ඩුබායි වෙත පිටත්කර හැරීමට එමිරේට්ස් ගුවන් සේවය වෙත භාරදීම සදහා කටයුතු කිරීමේදී, එසේ නොකරන ලෙස බල කරමින් බලපෑම් සහගත දුරකථන ඇමතුම් රාශියක් කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන කාර්යාලය වෙත ලැබී තිබුණි.

එම ඇමතුම් නොසලකා මොහු ආපසු යැවීමට පියවර ගැනීමත් සමඟ, මොහු සිය මිතුරන් දෙදෙනා ද සමඟ ගුවන්තොටුපොළ ආගමන විගමන පරිශ්‍රයේ කළහකාරී ලෙස හැසිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී එක් චීන ජාතිකයෙකු ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ සැගවී සිට තිබෙනවා. එසේම මොවුන් තිදෙනා තමන්ට ශ්‍රී ලංකාව තුළට පිවිසීම සදහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් අල්ලස් ලබාදීමට ද කීපවරක්ම උත්සාහ කර ඇති බව සඳහන්.

ඉන්පසුව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, ආගමන විගමන නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් මහත් වෙහෙසක් දරා මොවුන් පාලනය කර අද (19) දින උදෑසන යළිත් ඩුබායි වෙත පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් යානය පැමිණෙන තෙක්, එම ගුවන් සේවා රැදවුම් කුටියේ මොවුන් තිදෙනා රඳවා තැබීමට පියවර ගෙන තිබෙනවා.