ඇමැති මහින්ද අමරවීර
ආණ්ඩුව ආර්ථික අසීරුතාවන්ට මුහුණ දී සිටිය ද රජයේ සේවක වැටුපෙන් ශත පහක්වත් කොවිඩ් අරමුදල සඳහා කපා දමන්නේ නැතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදල සඳහා කපා දැමීමට කටයුතු කරන්නේ දැයි ඇමැතිවරයාගෙන් කළ විමසුමකදී අමරවීර මහතා මේ බැව් පැවැසීය.
තවදුරටත් ඇමැතිවරයා කියා සිටියේ, ‘‘විදේශ විනිමය හිඟකම දැඩි ලෙස බලපැම මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපේ අපනයන ආදායම් යම් මට්ටමකට පහත වැටී තිබුණද එම බර මහජනතාවට පැවරීමට ආණ්ඩුව සූදානම් නැහැ.
ආණ්ඩුව ආර්ථික වශයෙන් යම් අසීරුතාවන්ට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන් විදේශ විනිමය හිඟකම අපිට දැඩි ලෙස බලපා තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපේ අපනයන ආදායම් යම් මට්ටමකට පහත වැටී තිබුණත් එම බර මහජනතාවට පැවරීමට සූදානම් නැහැ.
ඇමැති මණ්ඩල සාකච්ඡාවල දී අපි වැඩිපුර කාලයක් ගත කරන්නේ මෙම වසංගත තත්ත්වය ගැන සහ ආර්ථික කටයුතු කළමනාකරණය කර ගන්නේ කෙසේද යන කාරණාවන් සම්බන්ධවයි. ඇතැම් අය සමාජය තුළ මතයක් ගොඩ නගමින් සිටිනවා ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප සියයට 50කින් අඩු කිරීමට කටයුතු කරන බවට .
නමුත් මම පැහැදිළිවම පවසනවා , අපි රාජ්‍ය සේවක වැටුපෙන් ශත පහක්වත් මෙම අසීරු අවස්ථාවේ දී අඩු කරන්නේ නැහැ. නමුත් වෙනත් දීමනාවන් එනම් විශේෂයෙන් අතිකාල දීමනා හා සංයුක්ත දීමනා වැනි දීමනාවන් සම්බන්ධව යම් බලපෑමක් සිදු විය හැකියි. කෙසේ වුවත් කොරෝනා තත්ත්වය මත රජයේ කාර්යාල වසා දමා තිබෙනවා. ඇතැම් කාර්යාලවල සේවයට කැඳවන්නේ එම ආයතනවල ප්‍රධානියාගේ අභිමතය අනුවයි. එමනිසා අත්‍යවශ්‍යම අය පමණයි කාර්යාලවල සේවය සඳහා කැඳවන්නේ.
එම නිසා අතිකාල ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම දුරබැහැර සිට රාජකාරි සඳහා නොයන බැවින් ගමන් වියදම් හා සංයුක්ත දීමනා ලබා ගැනීමට සිදු වන්නේත් නැහැ. එවැනි දීමනා අඩු කළත් රාජ්‍ය සේවක වැටුප කිසිසේත්ම අඩු කරන්නේ නැහැ.’’
බුද්ධිකා ඉඹුලාන