― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහිරුණිකාට එරෙහි ඩිෆෙන්ඩර් නඩුව කල් යයි

හිරුණිකාට එරෙහි ඩිෆෙන්ඩර් නඩුව කල් යයි

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේයි නඩු විභාගය පැවැත්වෙන්නේ.එහිදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන් ප්‍රනාන්දුගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකාර අමිල ප්‍රියංක අමරසිංහ නැමැත්තා කියාසිටියේ තමා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලන ජීවිතයට අපහාසයක් සිදු කිරීමේ අරමුණින් නොවන බවයි.

තමා වෙළඳසැලේ සේවය කරමින් සිටියදී පිරිසක් පැමිණ තමාව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ කාර්යාලයට රැගෙන ගිය බව සඳහන් කළ සාක්ෂිකරු එහිදී ‘හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේසයක් උඩ වාඩිවී කකුල් පද්දමින් “මම තමයි ඔයාව එක්ක එන්නෙ කිව්වේ” යනුවෙන් ප්‍රකාශ කළ බව ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම සිද්ධියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ බවත් ඇය තමන්ට තර්ජනය කළ බවත් සාක්ෂිකරු කියාසිටියා. මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කරමින් සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කරන කරුණු බොහෝමයක් ඔහු විසින් පොලිසියට ලබාදී ඇති කටඋත්තරයේ සඳහන් කර නොමැති බවත් පෙන්වා දුන්නා.

විත්තිකාරියගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් බොරු සාක්ෂි ලබා දෙන බවට විත්තියේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කළ සාක්ෂිකරු සඳහන් කළේ තමන් අධිකරණය හමුවේ ප්‍රකාශ කරන්නේ සත්‍ය පමණක් බවයි. මාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ලබා දී විත්තිකාරිය ගේ දේශපාලන ජීවිතයට අපහාසයක් සිදු කිරීමේ අරමුණින් මෙම නඩුව ඉදිරිපත් කර ඇති බවට විත්තිය විසින් ඉදිරිපත් කළ යෝජනාව ද සාක්ෂිකරු විසින් ප්‍රතික්ෂේප කළා.

තමා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ද්වේශසහගත චේතනාවකින් නොවන බවත් සාධාරණය අපේක්ෂාවෙන් පමණක් තමා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියා.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය සාකච්ඡාවක දී දැක්වූ අදහස් අඩංගු වීඩියෝවක් ද අධිකරණය හමුවේ වාදනය කරමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක මහේෂ් රුවන් ගුරුසිංහ මහතාගෙන් සාක්ෂි විමසීම සිදුකළා. අනතුරුව වැඩිදුර අඩු විභාගය සැප්තැම්බර් මස සඳහා 4 වනදා දක්වා කල් තැබුණා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක අමරසිංහ නමැති තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් අට දෙනෙකු ද නම් කර තිබූ අතර ඔවුන් මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් ද නියම කර තිබුණා.