තමන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ බව කියමින් කොළඹ කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම කෝටිපති ව්‍යාපාරිකයා සතුව විදේශ රටවල ද ව්‍යාපාර ඇති බවත් ඔහු ඩුබායි රාජ්‍යයේ පුරවැසිභාවය හිමි අයෙකු බවත් එම ඒකකය සඳහන් කළේය.
පසුගියදා මෙම ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුමක් දුන් පුද්ගලයෙකු තමා හරක් කටා බව කියමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති අතර ව්‍යාපාරිකයා විසින් මුදල් දීම ප්‍රතික්ෂේප කර තිබේ.
එහිදී කප්පම්කරු ඔහුට දිගින් දිගටම ඇමතුම් දෙමින් ඔහුගේ සහ දරුවන්ගේ වතගොත ආදිය පවසමින් ඔහු බිය ගන්වා ඇති බවත් එයින් බියට පත් ව්‍යාපාරිකයා කප්පම්කරු විසින් ලබාදුන් ගිණුමකට රුපියල් ලක්ෂයක් බැර කර ඇති බවත් අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ඉන්පසුවද කප්පම්කරු මෙම ව්‍යාපාරිකයාට ඇමැතුම් දෙමින් ඉතිරි මුදල ඉල්ලා ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් ඔහු පොලිස්පතිවරයා දැනුවත් කර තිබේ.
ඉන්පසු සිද්ධිය සම්බන්ධ විමර්ශන ඇරඹූ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය කප්පම්කරුගේ දුරකතනය හා ඔහු විසින් ලබාදුන් ගිණුම් අංකය ඔස්සේ විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව කප්පම්කරු අත්අඩංගුවට ගෙන තිබේ.


