ශ්‍රී ලංකාවේ දැනට පවතින පිළිකා ඖෂධ හිඟයට පිලිතුරක් වශයෙන්, දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 12,802,367.66 (එනම්, රුපියල් බිලියන 4.29ක්) වටිනා හදිසි ඖෂධ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පරිත්‍යාග කරන ලෙස තානාපති මහින්ද සමරසිංහ Heart to Heart International (HHI) ආයතනය වෙතින් ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර වශයෙන් ලද මෙම නවතම පරිත්‍යාගයට Sunitinib Malate නමැති ඖෂධය ඇතුළත් වන අතර එය ඇතැම් පිළිකා වර්ග (වකුගඩු, අග්න්‍යාශය සහ බඩවැල්) සදහා භාවිතා කරන oncology ඖෂධයකි.
ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ මෙම තානාපති කාර්යාලය මගින් පහසුකම් සපයන ලද මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ජනතාවට කිසිදු වියදමකින් තොරව 2023 අගෝස්තු මස 13 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ වෙත ලගාවීමට නියමිතය.
Heart to Heart International ආයතනය විසින් සියලු වියදම් දරා ඇති මෙම ඖෂධ පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාගෙන ඉතා ඉක්මනින් ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු සැලසුම් කොට ඇත. වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, Heart to Heart International ආයතනය විසින් අඛණ්ඩව සපයනු ලබන මෙම ආධාර බෙහෙවින් අගය කරනු ලබයි.
කන්සාස් ප්‍රාන්තයේ ලෙනෙක්සා නගරයේ මූලස්ථානය පිහිටා ඇති Heart to Heart International (HHI) ආයතනය, සෞඛ්‍යය ප්‍රවේශය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ගෝලීය මානුෂීය සංවිධානයකි. 1992 වර්ෂයේ එහි ආරම්භයේ පටන්, HHI ආයතනය එක්සත් ජනපදය ඇතුළුව රටවල් 130 කට වැඩි ගණනකට ඩොලර් බිලියන 2.6 ක් වටිනා වෛද්‍ය ආධාර සහ සැපයුම් ලබා දී ඇත. වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලමුලු ගැන්වීමෙන් HHI ආයතනය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වභාවික විපත්වලට ප්‍රතිචාර දක්වනු ලබයි. මෙම සංවිධානය තරු 4 පුණ්‍යායතනයක් මෙන්ම BBB ප්‍රතීතනය ලත් පුණ්‍යායතනයක්ද වන අතර එය ‘Philanthropy 400’ යටතේද නම්කර ඇත.