― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅසීරු කාලයේ රට ගොඩගත් ජනපතිට හැමෝම සහය දිය යුතුයි

අසීරු කාලයේ රට ගොඩගත් ජනපතිට හැමෝම සහය දිය යුතුයි

අසීරු කාල පරිච්ඡේදයක රටත්, ජනතාවත් වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා.

අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දුන් ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට ජනාධිපතිවරයා දරණ උත්සාහය පිළිබඳ ඇතැමුන්ට වැටහීමක් නොතිබීම කණගාටුවට කරුණක් බවයි උන්වහන්සේ කියාසිටියේ.

ජනාධිපතිවරයා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට මහාසංඝරත්නයේ ආශිර්වාදය නිතැතින්ම හිමිවන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.

ඊයේ (29) පස්වරුවේ මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වූ අතර උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

මේ රට වැටී තිබු අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් තරමක් දුරට හෝ ගොඩගැනීමට ඔබතුමා දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් කටයුතු කළා. එහිදී ඔබතුමාගේ පෞද්ගලික දේපළ පවා අහිමිකර ගැනීමට සිදු වුණා. ගෙවල් දොරවල් පවා අහිමි වුණා. ඒ වගේම වර්තමානයේ රට තුළ මතුව ඇති ගැටලුවලට ද විසඳුම් ලබාදීමට ඔබතුමාට ශක්තිය තිබෙනවා. ඒ සඳහා ඔබතුමාට දෙවි දේවතාවුන්ගේ පිහිට හා දළදා හිමියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා අප එකසිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කුරුන්දි විහාරය අවට ජනතාව මෙතෙක් කාලයක් එකමුතුව කටයුතු කළා. නමුත් මෑතකදී පිටතින් කණ්ඩායමක් පැමිණ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරමින් සිටිනවා. ඒ පිළිබඳව ද අවධානය යොමු විය යුතුයි.‍

තවත් ගැටලු කිහිපයක් පිළිබඳව මෙහිදී උන්වහන්සේ සිදු කළ විමසීමේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ කතා කරන විට දැන් අප රටක් ලෙස බංකොළොත්භාවයෙන් ඉවත් වෙමින් පවතිනවා. විදේශ ණය ප්‍රශස්තකරණ වැඩසටහන සමඟ මෙරට ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන්ද ප්‍රතිසංස්කරණ වැඩසටන් රැසක් ආරම්භ කර තිබෙනවා. අද දේශිය බැංකු අසීරු තත්ත්වයකයි තිබෙන්නේ. ඒ නිසා එම බැංකුවලින් මුදල් ලබාගන්න අපහසුතාවයක් තිබෙනවා. දේශිය බැංකු සියල්ලම වගේ ණය වී සිටිනවා.

බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි අයහපත් ප්‍රතිඵල ලැබෙන්නේ ජනතාවටමයි. දෙවනුව අර්ථසාධක අරමුදලෙන් මහ බැංකුව බිල්පත් ලබාගෙන තිබෙනවා. එය දිගුකාලීන බැඳුම්කර බවට පත් කරන්න අවශ්‍ය පියවර ගන්නවා. එහිදී ලබාදෙන පොලිය පිළිබඳ පොඩි වෙනසක් ඇති වෙනවා. නමුත් එයින් තැන්පත්කරුවන්ට කිසිඳු හානියක් සිදු වන්නේ නැහැ. අර්ථ සාධක අරමුදලේ තැන්පත්කරුවන්ට සියයට 9ක පොලියක් ලබාදෙන බවට පසුගිය වසරේදී එකඟ වුණා. ඒ වගේම එම අවම පොළිය නීතියක් ලෙස සම්ම්ත කර දීමට මම පොරොන්දු වුණා.

එසේම නව මහ බැංකු පනතක් ගෙන ඒමට අප කටයුතු කරනවා. ඉන් අනතුරුව අපට ණය ලබා දුන් අනෙක් රටවල් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්පසු පුද්ගලික ණය පිළිබඳ සාකච්ඡා කරනවා. එහිදී ණය ගෙවීමට දිගුකාලීනව අවස්ථාව ලබා ගැනීමට හෝ නැතිනම් ණයෙන් කොටසක් අඩු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කර මෙම සැප්තැම්බර් මාසය අවසන් වන විට හෝ ඔක්තොබර් මුල් සතිය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙම කටයුතුවලදී අප බංකොළොත්භාවයෙන් නිදහස් බව නිවේදනය වීමෙන් පසුව අපට නැවත පහසුවෙන් ආර්ථික ගනුදෙනු කිරීමේ අවස්ථාව උදා වෙනවා.

ශ්‍රී ලංකාවේ අපනයන ආනයනයට වඩා අඩුයි. ඒ නිසා රට තුළ තරගකාරී ආර්ථිකයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ඇති කළයුතුයි. කලාපය තුළ තරගකාරිත්වයක් ඇති කරීම තුළින් ආර්ථික වාසි අත් කර ගැනීමේ අවස්ථාව පවතිනවා. ඉන්පසුව ණය ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරනවා. 1948 දී අපට කලාපයේ තිබු තැන අද අපට අහිමි වී තිබෙනවා. ඒ නිසා අනාගතය දෙස බලා ඊට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කළ යුතුයි. මෙය ක්‍රමාණුකූලව කරගෙන යා යුතුයි. මට ලබාදිය හැක්කේ එහි ආරම්භය පමණයි. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මෙරට තරුණ පරපුර සූදානම් විය යුතුයි.

එම නායකත්වය අප විසින් ගොඩනැඟිය යුතුව තිබෙනවා. නව දැක්මක් ඇති මෙන්ම තාක්ෂණය සමඟ ඉදිරියට යන පරපුරක් මේ සඳහා අවශ්‍යයි. දැන් කෘතිම බුද්ධිය පිළිබඳ ලෝකයම කතා කරනවා. එය බුද්ධ ධර්මයේ ද සඳහන් වෙනවා. ථෙරවාද බෞද්ධ රටවල් අතරින් තවම කිසිඳු රටක් ඉදිරියට පැමිණ නැහැ. ශ්‍රී ලංකාව සමඟ බැලීමේ දී තායිලන්තය ඉදිරියෙන් සිටිනවා. ශ්‍රී ලංකාව හා තායිලන්තය ඉදිරියට පැමිණිය යුතුයි. තායිලන්තය සමඟ නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ අනුව පළමු වතාවට ථෙරවාද බෞද්ධ රටවල් දෙකක් ආර්ථික වශයෙන් එකතු වීම සිදු වෙනවා. එම ගිවිසුමට ලබන වසරේ පෙබරවාරි මාසයේ දී අත්සන් තැබීමට මම තායිලන්ත රජයට ආරාධනා කළා. එම ගිවිසුමට ඓතිහාසික මහනුවරදී අත්සන් තැබීමට ඇති හැකියාව පිළිබඳ මම මහානායක හිමිවරුන්ගෙන් විමසා සිටියා. එදා සියමෙන් පැමිණ එම කටයුතු සිදු කළේ එම ස්ථානයේ දි. මෙම කටයුත්තත් ඉදිරියට ගෙන යාමට එය හොඳ ආරම්භයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එයින් හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 7ක් හෝ 8ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාරකින් වී මෙක්ට්‍රික් ටොන් 10ක් නිපදවනවා. අපේ රටෙත් හම්බන්තොට වැනි ප්‍රදේශවල වී මෙක්ට්‍රික් ටොන් 11ක අස්වැන්නක් ලබා ගන්නවා. ඒ වගේම බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙමින් අප මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කරන බව කිවයුතුයි. බෞද්ධ සිද්ධස්ථාන සියල්ලම ආරක්ෂා කිරීමට අප කැපවී සිටිනවා. උතුරේ කුරුන්දි විහාරයේ ගැටලුව විසඳීමට අප කටයුතු කරමින් සිටිනවා. පිටින් කවුරුත් ගෙන එන්න එපා කියා එම ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් හා දෙමළ ජනතාව එකඟ වී තිබෙනවා. මීට පෙර එම ප්‍රදේශයේ සියලු ජන කොටස් සමගියෙන් ජීවත් වුණා. පිටස්තරින් කණ්ඩායම් පැමිණිමත් සමග මෙම ගැටලු මතු වී තිබෙනවා. වවුනියාවේ අපේ නායක ස්වාමීන්වහන්සේවත් මේ පිළිබඳ දැනුවත් කර තිබෙනවා.

ඒ නිසා අප පිටස්තරින් කිසිවෙකුට එම ප්‍රදේශයට යාමට අවස්ථාව දෙන්නේ නැහැ. මෙම සියලු කටයුතු සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. එහිදී පුරාවිද්‍යා පනතට අනුව කටයුතු කිරීමටත් උපදෙස් දී තිබෙනවා. ඒ වගේම මහා විහාරයේ කැනීම් කටයුතු සිදු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. උතුරේ සිදුවන කැනීම් කටයුතුවල ද වාර්තා ලබා ගනිමින් එම කටයුතු ඉදිරියට කරගෙන යනවා.”