හොරණ – කොළඹ මාර්ගයේ කොරළඉම ප්රදේශයේදී සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පාතකඩ ප්රදේශයේ සිට කහතුඩුව ප්රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවක සේවිකාවන් ප්රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථය හොරණ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇත.
ලංගම බස් රථයක් සහ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් ප්රවාහනය කරමින් තිබූ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ සේවකයින් හැකි ඉක්මනින් රෝහල්ගත කළ බවත් ඒ අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සිටි බවත් කහතුඩුව පොලීසිය පවසයි.
මෙම අනතුරින් ලංගම බස් රථයේ කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙක් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සෙසු තුවාලකරුවන් වෑතර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ඇඟලුම් කර්මාන්තශාලා සේවක බස් රථය පැදවූ රියැදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.