ග්‍රෑන්ඩ්පාස් සජීමා වත්ත ප්‍රදේශයේ අනවසරයෙන් විදුලිය ලබාගත් පුද්ගලයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ ඉන්දික ප්‍රනාන්දු පැවසුවේ, අද (03) අලුයම පොලීසිය සමග එක්ව සිදුකළ වැටළීමකදී එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි.
ඒ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් එම මහතා මෙසේද කීය.
“ග්‍රෑන්ඩ්පාස් සජීමා වත්ත ප්‍රදේශයේ විදුලිය අනවසරයෙන් භාවිත කරන බවට අපට සෑහෙන කාලයක සිට නිර්ණාමික දුරකථන ඇමතුම් සහ ලිඛිත තොරතුරු වාර්තා වෙලා තිබුණා. ගිය වසරෙත් මෙතැන ගෙවල් ගිනි ගැනීමක් සිද්ධවෙලා තියෙනවා විදුලි කාන්දුවීමකින්. ඒ නිසා තවදුරටත් මේ වගේ මෙවැනි විදුලි කාන්දුවක් වෙලා ගෙවල් ගිනි ගැනීමක් වෙලා ජීවිත හානි වෙයි කියලා ලොකු අවධානමක් පැවතුනා. ඒ නිසා අද පාන්දර 3.30 ඉඳලා පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විදුලිබල මණ්ලඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් වැටලීමක් කරලා ඒ අනුව දැනට 120කට ආසන්න ප්‍රමාණයක් වංචනික ලෙස විදුලිය පරිහරණය යටතේ අත්අඩංගුවට ගෙන ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් අද මාලිගාවත්ත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.”


