― political ―

විදුලි බිල ගැන සතුටුදායක පුවතක්

මැයි මාසයේදී විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා. ඊයේ (30) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට...
HomeNewsබැසිල් රාජපක්ෂට නොතීසි

බැසිල් රාජපක්ෂට නොතීසි

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් මැයි මස 12 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා එහි පළමුවන වග උත්තරකරු ලෙස නම් කර සිටින අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත අභියාචනාධිකරණය යළි නොතීසි නිකුත් කරන ලෙස අද (16) නියෝග කළේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැදවනු ලැබූ අතර එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ නොතීසි වග උත්තරකාර බැසිල් රාජපක්ෂ වෙත භාර දී ඇති බව සඳහන් කළේය.

එහෙත් මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෝ ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටියේය. ඒ අනුව බැසිල් රාජපක්ෂ වෙත යළි නොතිසි නිකුත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා එම නඩුව යළිත් මැයි මස 12 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම ඉකුත් ජනවාරි මස 12 වැනිදා අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ද්විත්ව පුරවැසියෙකු වශයෙන් බැසිල් රාජපක්ෂට මෙරට පුරවැසි පනත යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බව තර්ක කර තිබුණි.

බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු වශයෙන් ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම දිවුරුම ප්‍රකාරව ඇමරිකාව වෙනුවෙන් ඕනෑම රටකට එරෙහිව අවි දැරීමට පවා ඔහු බැඳී සිටින බවද එහිදී ප්‍රකාශ කළේය.

එවැනි පුද්ගලයෙකු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකුට මෙරට පුරවැසි පනතට අනුව ධුරයක් දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවටත් තර්ක කළේය. ඒ අනුව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු වශයෙන් බැසිල් රාජපක්ෂ දී ඇති දිවුරුම නීතියට පටහැනි බවත් ඔහු සඳහන් කළේය.

එදින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙරට රජයේ ධුර දැරීමට 19 වන සංශෝධනය මගින් පනවා තිබූ බාධාව ඉවත් කර තිබෙන බව පෙන්වා දුන්නේය.

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබූ අතර එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව මෙම පෙත්සම තුළ ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වශයෙන් පත් කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය ප්‍රකාරව මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එදින සඳහන් කර තිබුණි.