පාර්ලිමේන්තුව අසළදී විරෝධතාවේ යෙදී සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ට ඇතැම් පිරිස් දුරකතනයෙන් සහ සමාජ ජාල හරහා මරණ තර්ජන එල්ල කර තිබේ.
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු සහ ඔහුගේ පවුලේ අය මරා දමන බවට ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මරණ තර්ජන කර ඇති බවයි.
ඒ සම්බන්ධව ඔහු විසින් පොලිස්පතිවරයා මෙන්ම බස්නාහිර පළාත් බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කර ඇති බව පොලිස් මූලස්තාන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
රොෂාන් ඩයස් ඊයේ දිනයේ පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ විශේෂ රාජකාරි සඳහා පැමිණ ඇති අතර එම ස්ථානයේ සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තේය.
කෙසේ වෙතත් මෙම සැකකරුවන් ඊයේ (04) රාත්‍රියේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.


