ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kiltan සහ INS Savitri යන යුද නෞකා ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය – 2023 (SLINEX -23) අප්‍රේල් 03 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Corvette වර්ගයේ INS Kiltan නැමැති යුද නෞකාවේ අණදෙන නිලධාරී Commander Arjit Pande හා Offshore Patrol Vessel වර්ගයේ INS Savitri නැමැති යුද නෞකාවේ අණදෙන නිලධාරී Commander Vikas Phogat සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් බටහිර නාවික විධාන මුලස්ථානයේ දී පැවති අතර එහිදී සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.
වාර්ෂිකව පැවැත්වෙන SLINEX -23 ද්වීපාර්ශ්වීය නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් මෙවර ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ විජයබාහු යන ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන්ද, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් සහ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් එක්වන අතර, ඉන්දීය නාවික හමුදාව නියෝජනය කරමින් INS Kiltan හා INS Savitri යන යුද නෞකාවන් සමඟ ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් සහ කීටැක් වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් එක්වේ. මෙම අභ්‍යාසයේ සමාරම්භක දේශණය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් සහ දෙපාර්ශවයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේදී පැවැත්විණි.
ඒ අනුව, මෙම අභ්‍යාසයේ වරාය අධියර 2023 අප්‍රේල් මස 03 වන දින සිට 05 වන දින දක්වා කොළඹ වරාය පරිශ්‍රයේදීත් එහි මුහුදු අධියර අප්‍රේල් මස 06 වන දින සිට 08 වන දින දක්වා බටහිර නාවික විධාන මුහුදු තීරයේදී පැවැත්වීමට නියමිතව ඇත.


