දිවයින පුරා පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීම ඉලක්ක කරගත් ජාතික වැඩසටහන අද (07) නිල වශයෙන් ආරම්භ වී තිබෙනවා. එම වැඩසටහනට සමගාමීව සංවිධානය කරන ලද පුරාවිද්‍යා දෙසතිය ද අද සිට ක්‍රියාත්මකයි.
මේ පිළිබඳ අදහස් පළ කළ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන හඳුනාගෙන ඒවායේ කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා කඩිනමින් ඉදිරියට ගෙන යාම මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.
මෙම ව්‍යාපෘතිය යටතේ සමස්තයක් ලෙස පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණයට ලක් කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු අදියර ලෙස පුරාවිද්‍යා දෙසතිය තුළ හඳුනාගත් ස්ථාන 100ක සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළා.
එමෙන්ම, පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීම සඳහා මහජන සහභාගීත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් අදාළ ප්‍රදේශ මූලික කරගනිමින් “ප්‍රජා සංරක්ෂණ කමිටු” පිහිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.
එම කමිටු මගින් ඉදිරිපත් කෙරෙන යෝජනා සහ අදහස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ගේ උපදෙස් සහ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද වැඩිදුරටත් සඳහන් වෙනවා.


