― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම ලබා ගන්නා අය ගැන ජනපතිගෙන් තීරණයක්

අස්වැසුම ලබා ගන්නා අය ගැන ජනපතිගෙන් තීරණයක්

අස්වැසුම ප්‍රතිලාභීන් සහනාධාර මත යැපීමෙන් මුදවා ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමු කිරීමට සැලසුම්

මෙම වසර තුළ අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් සඳහා යොමු කරමින්, ඔවුන් සහනාධාර මත පමණක් රඳා සිටින තත්ත්වයෙන් මුදවා ගැනීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2026 වසර සඳහා වෙන් කළ අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 වසරේ අයවැය යෝජනා සම්බන්ධයෙන් පැවැති පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මේ වන විට පවුල් 16,000ක් ඉලක්ක කර ගනිමින් මනෝ-සමාජීය සහ ආර්ථික සහාය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.

අඩු ආදායම්ලාභී ජනතාව දිගින් දිගටම සහනාධාර මත පමණක් රඳවා නොගෙන, ඔවුන්ගේ හැකියාවන්ට ගැළපෙන අර්ධ කාලීන ශ්‍රම දායකත්වයන් සඳහා යොමු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ සඳහා වැවිලි ක්ෂේත්‍රය ඇතුළු විවිධ අංශවල පවතින අවස්ථා ප්‍රයෝජනයට ගැනීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

දුගී බව තුරන් කිරීම සඳහා පවුල් ඒකක කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව විවිධ රාජ්‍ය ආයතන හරහා වෙන්ව පවතින ප්‍රතිපාදන ඒකාබද්ධ කර, නිශ්චිතව හඳුනාගත් පවුල් ඒකක ඉලක්ක කරගනිමින් දුගී බව තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සමාජ සුබසාධන වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන සෑම පවුලක්ම සැබෑ ලෙසම සවිබල ගැන්වෙන්නේද යන්න මැන බැලිය හැකි ක්‍රමවේදයක් සකස් කර, එම දත්ත මත පදනම්ව ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ප්‍රජා සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රජා ශක්ති වැඩසටහන ඇතුළු ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රාදේශීය සභා මට්ටමින් බෙදාහැර ඇති ආකාරය සහ එම ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

එමෙන්ම ප්‍රජා සංවර්ධනය සඳහා අපනයන හැකියාවක් සහිත ව්‍යවසායකයන් දිරිගැන්වීම වෙනුවෙන් හඳුනාගත් ව්‍යාපෘති සඳහා අමාත්‍යාංශය මඟින් යෝජනා කර ඇති ණය සහ ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

ශ්‍රම දායකත්වයක් ලබාදීමට නොහැකි ආබාධිත පුද්ගලයන්, වැඩිහිටියන් හෝ නිදන්ගත රෝගීන් සිටින පවුල් රජය විසින් පූර්ණ වශයෙන් රැක බලා ගන්නා බවත්, එමෙන්ම ශ්‍රම ශක්තිය ඇති පුද්ගලයන් සහනාධාර ලබන අතරතුර රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ලබාදිය හැකි දායකත්වය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

එක් එක් අමාත්‍යාංශය වෙන වෙනම මුදල් වැය කිරීම වෙනුවට, එක් එක් පවුලේ සැබෑ අවශ්‍යතා හඳුනාගෙන පවුල් සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුළු විදේශ ආධාර සහ රාජ්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සවිබල ගැන්වීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

රැකියාවල නිරත මව්වරුන්ට සහනයක් සැලසීම මෙන්ම ආබාධ සහිත දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් කර ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථාන 10ක් මෙම වසර තුළ අවසන් කිරීමටත්, ඉදිරි වසර කිහිපය තුළ දිවයින පුරා එවැනි මධ්‍යස්ථාන 50ක් ඉදිකිරීමේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ආබාධිත පුද්ගලයන්ට පොලිස් ස්ථාන, රෝහල් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි පොදු ස්ථාන වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා රුපියල් මිලියන 283ක ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවද මෙහිදී අනාවරණය විය.

එමෙන්ම ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් පවත්වාගෙන යනු ලබන දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය නවීන තාක්ෂණය භාවිතයෙන් වඩාත් ආකර්ෂණීය සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද මෙහිදී සඳහන් කෙරිණි.