මීගමුව බන්ධනාගාර සිදුවීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශෝක ප්‍රකාශයක්
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්වේ මහතා සිය කනගාටුව පළ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම සිදුවීමෙන් පීඩාවට පත් වූ පවුල් වෙත සිය ශෝකය පළ කරන බවත්, තුවාල ලැබූ පුද්ගලයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්ය.
බන්ධනාගාර නිලධාරීන් රජය සහ ජනතාව වෙනුවෙන් ඉතා දුෂ්කර වගකීමක් ඉටු කරන පිරිසක් බවත්, එවැනි සේවයක නිරත නිලධාරීන්ගේ අහිමිවීම දැඩි ලෙස දැනෙනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.
එමෙන්ම මෙම සිදුවීමෙන් තුවාල ලැබූ රැඳවියන් රජයේ භාරකාරත්වය සහ ආරක්ෂාව යටතේ සිටි බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ. බන්ධනාගාර පද්ධතියේ සේවය කරන නිලධාරීන් මෙන්ම එහි රඳවා සිටින පුද්ගලයින්ද ඉහළ ආරක්ෂාවකට හිමිකම් ලබන බැවින්, එම ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රධාන වගකීමක් බවද එහි සඳහන් වේ.
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය සඳහා අඛණ්ඩ ආයෝජන සිදු කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කරන බව නේවාසික සම්බන්ධීකාරකවරයා සඳහන් කර තිබේ.
රැඳවියන්ගේ අධික තදබදය, පැරණි ක්‍රමවේදයන් සහ රැඳවුම් මධ්‍යස්ථානවල පවතින පහසුකම් හිඟය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා බන්ධනාගාර පද්ධති මුහුණ දෙන බරපතළ ගැටලු බවද ඔහු පෙන්වා දී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අගය කර ඇති අතර, එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බවද අවධාරණය කර තිබේ.
තවද බන්ධනාගාර ආරක්ෂාව වැඩිදියුණු කිරීම, රැඳවුම් පහසුකම් සංවර්ධනය කිරීම සහ බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික සහය ඇතුළු අවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.


