රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට අදාළ නඩුව සැප්තැම්බර් 30ට කල් තැබේ
රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා අදාළ නඩුව සැප්තැම්බර් 30 වනදා යළි කැඳවීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අදාළ නඩු කටයුත්ත අද (08) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඊට අදාළ උද්‍රෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන මහත්මිය සඳහන් කළේ විමර්ශන අවසන් කර ලිපිගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බැවින්, ඒ පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම නඩුවට අදාළ සමස්ත මුදලින් ආසන්න වශයෙන් අඩක් පමණ වියදම් වී ඇත්තේ වාහන සම්බන්ධයෙන් බව විමර්ශකයින් ප්‍රකාශ කර ඇති බවයි.
කෙසේ වෙතත්, තම සේවාදායකයාට ලබාදුන් වාහන බ්‍රිතාන්‍යය රජය විසින් ලබාදුන් ඒවා බවත්, ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග ඇතුළත් ලේඛනයක් රජයේ නීතිඥවරිය වෙත භාරදුන් බවත් ඔහු පැවසීය.
එම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ නඩුව සැප්තැම්බර් 30 වනදා යළි කැඳවීමට නියෝග කළේය.
එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා රජයේ නීතිඥවරියට දැනුම් දී තිබේ.


