ලබන සතියේ ජල බිල්පත් හිඟ මුදල් අයකර ගැනීමේ විශේෂ මෙහෙයුමක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකර ගැනීම සඳහා ලබන සතියේ සිට විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, 2026 ජූලි 13 සිට ජූලි 19 දක්වා කාලය “ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය” ලෙස නම් කර ඇති අතර, එම කාලය තුළ හිඟ මුදල් නොගෙවූ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමේ මෙහෙයුමක් ක්රියාත්මක කිරීමට නියමිතය.
මෙම වැඩසටහන ප්රධාන වශයෙන් ප්රදේශ කිහිපයක් ආවරණය කරමින් ක්රියාත්මක වන අතර, කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සියලු ප්රදේශ, මහරගම කලාපය සහ කෝට්ටේ කලාපය එහි ප්රමුඛත්වයෙන් ඇතුළත් වේ.
එබැවින් ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට කැමති පාරිභෝගිකයන් තම ජල බිල්පත්වල හිඟ මුදල් 2026 ජූලි 13 දිනට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටී.
නියමිත කාලයට පෙර හිඟ මුදල් පියවීම මඟින් ජල සැපයුම විසන්ධි වීමෙන් ඇතිවිය හැකි අපහසුතා වළක්වා ගත හැකි බවද මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.


