මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරේ
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් වාරියපොළ සහ බෝගම්බර බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ (08) දිනයේදී මෙම මාරු කිරීම සිදුකර ඇති අතර, එම පිරිස අතර විදේශීය කාන්තා රැඳවියන් ද සිටින බවයි.
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවයක නිරත වූ අතර, මේ වන විට එම විරෝධතාව අවසන් වී තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සි. ගජනායක මහතා සඳහන් කළේ, රැඳවියන් ක්‍රමානුකූලව වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි.
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ පිරිමි රැඳවියන් ද වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම, එක් එක් බන්ධනාගාරවල පවතින පහසුකම් සහ ධාරිතාව සලකා බැලීමෙන් අනතුරුව මෙම මාරු කිරීමේ ක්‍රියාවලිය සිදුකරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.


