ජූලි 9 වැනිදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ වෙන වෙනම රිය අනතුරු හතරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පළමු අනතුර පදවිය පොලිස් වසමේ බෝගස්හන්දිය–පුල්මුඩේ මාර්ගයේ කිලෝමීටර් 02 කණුව ආසන්නයේදී සිදුව ඇත. බෝගස්හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් යතුරුපැදිකරු සහ ඔහුගේ බිරිඳ සමඟ ගමන් කළ දරු දෙදෙනා තුවාල ලබා පදවිය රෝහලට ඇතුළත් කර ඇති අතර, පැදිකරු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මියගිය පුද්ගලයා කල්අඩිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි.
දෙවන අනතුර අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර–රඹෑව මාර්ගයේ ගල්වල හන්දිය ආසන්නයේදී වාර්තා වී තිබේ. අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් දකුණට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරු සහ කාර් රථ රියැදුරු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුපැදිකරු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මියගිය පුද්ගලයා සාලියපුර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.
මේ අතර පොතුවිල් පොලිස් වසමේ පොතුවිල්–අක්කරපත්තු මාර්ගයේ ඌරනිය හන්දිය ආසන්නයේදී අක්කරපත්තු දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් වාහන දෙකම පෙරළී තවත් අනතුරක් සිදුව ඇත. අනතුරින් වෑන් රථ රියැදුරු සහ ත්‍රීරෝද රථ රියැදුරු තුවාල ලබා පොතුවිල් රෝහලට ඇතුළත් කර ඇති අතර, වෑන් රථ රියැදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කල්මුණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් තිබේ. මියගිය පුද්ගලයා කාර්තිව් ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකි.
එමෙන්ම වැලිගම පොලිස් වසමේ සත්‍යා හෙට්ටිගේ මාවතේ පරණ ගාලු පාර දෙස සිට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ පෙරළී තාප්පයක ද ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ පසුපස ගමන් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරින් රියැදුරු සහ පසුපස ගමන් කළ පුද්ගලයා තුවාල ලබා වලාන රෝහලට රැගෙන යන අතරතුර පසුපස ගමන් කළ පුද්ගලයා මියගොස් ඇති අතර, රියැදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත මාරු කර යවා තිබේ. මියගිය පුද්ගලයා වැලිගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි.
අනතුරු හතර සම්බන්ධයෙන් පදවිය, අනුරාධපුර, පොතුවිල් සහ වැලිගම පොලිසි වැඩිදුර විමර්ශන සිදු කරයි.


