විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, ඔටිසම් (Autism) සහ අනෙකුත් ස්නායු ආබාධවලින් පෙළෙන දරුවන්ට සාමාන්‍ය පෙර පාසල් දරුවන් සමඟ එකට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදීම සඳහා රජය නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව සඳහන් කළේ අද (13) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරිය පැවසුවේ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සාමාන්‍ය සමාජයෙන් වෙන්කර වෙනම අධ්‍යාපනය ලබාදීමේ පැරණි ක්‍රමවේදයෙන් ඉවත්වීමට රජය තීරණය කර ඇති බවයි.
ඒ අනුව සමාජ සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම දරුවන් සඳහා සාමාන්‍ය දරුවන් සමඟ ඒකාබද්ධව ඉගෙනීමට හැකි නව වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බවද ඇය සඳහන් කළාය.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකාරකම් මූලික කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම ඔවුන්ගේ චර්යාත්මක වර්ධනය සඳහා අවශ්‍ය පුහුණුවද ලබාදීම වැදගත් බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
එම දරුවන් වෙන්කර නොතබා සාමාන්‍ය දරුවන් අතරම වර්ධනය වීමට අවස්ථාව ලබාදීම ඔවුන්ගේ සමාජීය හා මානසික වර්ධනයට ඉතා වැදගත් බවද ඇය අවධාරණය කළාය.
මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරක් ලෙස විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම සහ පුහුණු කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර තිබේ.
මෙම කාර්යය සඳහා පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වන ප්රමුඛ පෙළේ විශේෂිත ආයතන කිහිපයක්ද විශාල සහයෝගයක් ලබාදෙමින් සිටින බව අමාත්‍යවරිය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන පද්ධතිය තුළ මුල් ළමාවිය අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පවතින අවස්ථා තවමත් සීමිත මට්ටමක පවතින බවද ඇය පෙන්වා දුන්නාය.
ඒ අනුව ඉදිරියේදී එම දරුවන්ගේ අවශ්‍යතා නිසි ලෙස සපුරාලිය හැකි පෙර පාසල් පද්ධතියක් රට පුරා පුළුල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.


