2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් පැවැත්වූ උද්ඝෝෂණයක් හේතුවෙන් මහජන පීඩාවක් ඇති කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් හයදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන සැප්තැම්බර් 21 වැනිදාට කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ විමල් වීරවංශ මහතා අසනීප තත්ත්වයකින් පසුවන බවත්, ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.
එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියම කළේය.
මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය විසින් ගොනු කර ඇත්තේ 2016 පෙබරවාරි 6 වැනිදා එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සහ තුම්මුල්ල ප්‍රදේශය ඇතුළු මාර්ග අවහිර වන අයුරින් උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් මහජනතාවට පීඩා සිදුකළ බවට වන චෝදනා මතය.
මෙම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන අය ද නම් කර තිබේ.


