ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයන්ට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකි අතිප්රබල එල්නිනෝ (El Niño) තත්ත්වයක් මේ වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ඇතිවීමේ හැකියාව සියයට 81ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසා ඇත්තේ, ජාත්‍යන්තර කාලගුණ පුරෝකථන ආයතන විසින් නිකුත් කර ඇති නවතම වාර්තා අනුව එල්නිනෝ තත්ත්වයක් වර්ධනය වීම සම්බන්ධයෙන් පැහැදිලි ඉඟි ලැබී ඇති බවයි.
මේ වනවිටත් එල්නිනෝ තත්ත්වයේ මුල් බලපෑම් ශ්‍රී ලංකාවේ කාලගුණ රටාව තුළ දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව සාමාන්‍යයෙන් මෙම කාලසීමාවේදී ලැබෙන නිරිතදිග මෝසම් වර්ෂාපතනයේ අඩුවීමක් පෙන්නුම් කරන අතර, දිවා කාලයේදී ජනතාවට දැනෙන උෂ්ණත්වයද ඉහළ ගොස් ඇති බව අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
ඉදිරි මාස කිහිපය තුළ ඇතිවිය හැකි කාලගුණික වෙනස්කම් පිළිබඳ ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිල නිවේදන සහ අනාවැකි පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් බවත් අජිත් විජේමාන්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.


