මධ්‍යම පළාතේ පාසල්වල 11 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවති දෙවන වාර විභාගයේ දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය 2019 වසරේදී උතුරු පළාතේ පාසල් සඳහා ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ පිටපතක්ද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ මූලිකත්වයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙන අතර, මෙම ගැටලුව මතුව ඇත්තේ 11 වැනි ශ්‍රේණියේ දෙවන වාර විභාගය ඊයේ (14) පැවැත්වීමෙන් අනතුරුවය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා ලබාදුන් දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 24 සිට ඉදිරි සියලු ප්‍රශ්න මෙන්ම දෙවන සහ තුන්වන ප්‍රශ්න පත්‍රවල සියලු ප්‍රශ්නද 2019 වසරේ උතුරු පළාත් පාසල් සිසුන් වෙනුවෙන් නිකුත් කළ ප්‍රශ්න පත්‍රවල ඇතුළත් වූ ප්‍රශ්න බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දී තිබේ.
ඒ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙත දැනුම් දී ඇති ඔහු, සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කර ඇත.
මෙම ප්‍රශ්න පත්‍රය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සකස් කර මධ්‍යම පළාතේ පාසල් වෙත නිකුත් කර තිබූ බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ, 2019 වසරේදී උතුරු පළාතේ නිකුත් කළ ප්‍රශ්න පත්‍රය ලබාගෙන මේ සමඟ සංසන්දනය කර පරීක්ෂා කිරීමට කටයුතු කරන බවයි.


