2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය ඊයේ (17) කොළඹ SSC ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වුණු අතර, එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමින් ජයග්‍රාහී ආරම්භයක් සනිටුහන් කිරීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසියෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 213ක දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.
එම ඉනිමේ කැපී පෙනෙන පිතිහරඹයක් ඉදිරිපත් කළ චරිත් අසලංක පන්දු 38කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 65ක් රැස් කළ අතර, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක සෑම් හාපර් පන්දු 19කින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟ වේගවත් ලකුණු 40ක් ලබා දුන්නේය.
නායක දසුන් ශානක පන්දු 12කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 31ක් රැස් කළ අතර, සහන් ආරච්චිගේ ද හතරේ පහර 7ක් සමඟ ලකුණු 35ක් ලබා දෙමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 214ක ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19.4කදී සියලුම කඩුලු අහිමිව ලකුණු 177ක් පමණක් රැස්කර ගැනීමට හැකි වූ අතර, ඒ අනුව ගෝල් ගැලන්ට්ස්ට ලකුණු 36ක විශිෂ්ට ජයක් හිමි විය.
ජැෆ්නා පිල වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 40ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 34ක් ලබා කැපී පෙනුණද, අනෙක් පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම හේතුවෙන් ඉලක්කය සපුරා ගැනීමට ඔවුන්ට නොහැකි විය.
මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් හිටපු ඉන්දීය ක්‍රීඩක පියුෂ් චව්ලා සහ දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් නැමීබියානු ක්‍රීඩක ඩේවිඩ් වීස් ඇතුළු විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුද ක්‍රීඩා කළහ.


