ඉන්දියාවේ ඇදහැලෙන මෝසම් වැසි හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බලපෑමට ලක්වූ ප්‍රදේශවල ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
මියගිය පිරිස අතරින් 8 දෙනෙකු නාගාලන්ත ප්‍රාන්තයෙන් සහ 11 දෙනෙකු ඉන්දීය පාලිත ජම්මු-කාශ්මීරයෙන් වාර්තා වී තිබේ.
නාගාලන්තයේ මොන් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් වෙන්යෙයි කොන්යාක් සඳහන් කළේ, මියගිය පුද්ගලයින් 8 දෙනාගෙන් සිව්දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර, තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
ජම්මු-කාශ්මීරයේ රාජෞරි ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපළ රැසකට දැඩි හානි සිදුව ඇති අතර, ප්‍රදේශයේ බස් නැවතුම්පොළද විනාශ වී තිබේ. තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය හමුදාව සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් එක්ව ළමුන් පස්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන ඇති අතර, ඉදිරි දින දෙක තුළ ජම්මු-කාශ්මීරයට තවදුරටත් අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අමර්නාත් සහ වෛෂ්ණෝ දේවි හින්දු වන්දනා ගමන් තාවකාලිකව අත්හිටුවීමටද බලධාරීන් පියවර ගෙන ඇත.


