රෙදිපිළි මිලදී ගැනීමෙන් අනතුරුව මුදල් නොමැති බැංකු ගිණුමකට අදාළ චෙක්පත් ලබාදී වංචා සිදුකළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්, හොරණ නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ (UNP) මන්ත්‍රීවරියක් වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය ඊයේ (19) වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඇය මෙම මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
පොලිස් විමර්ශනවලට අනුව, සැකකාරිය රෙදිපිළි ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු රවටමින් කෝටි ගණනක මුදල් වංචා කර තිබිය හැකි බවට සැක පළ කෙරේ. එහෙත්, මේ වනවිට වත්තල පොලිසියට නිල වශයෙන් ලැබී ඇත්තේ ලක්ෂ ගණනක වටිනාකමක් ඇති චෙක්පත් වංචා සම්බන්ධ පැමිණිලි දෙකක් පමණක් බව පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කර ඇත.
එම නිසා සැකකාරිය සම්බන්ධයෙන් වෙනත් ප්‍රදේශවල පොලිස් ස්ථානද දැනුවත් කර ඇති අතර, තවත් පැමිණිලි තිබේද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
වංචාවට ලක්වූ බව කියන ව්‍යාපාරිකයන් මුදල් ඉල්ලා ඇය සොයා යාමේදී, ඇය ඔවුන්ට මෙන්ම පොලිසියටද මඟහැර සැඟවී සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, පෙරේදා (18) ඇය එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන ‘සිරිකොත’ වෙත පැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් අනුව, වංචාවට ලක්වූ බව කියන ව්‍යාපාරිකයෙකු එහි ගොස් ඇය හඳුනාගෙන ඇත.
එම අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර, අදාළ ව්‍යාපාරිකයා තමන්ට පහරදුන් බවට සැකකාරිය මිරිහාන පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, ඒ අනුව මුලින්ම එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව, පැමිණිල්ල ලබාදී මිරිහාන පොලිස් ස්ථානයෙන් පිටව යාමට සැරසුණු අවස්ථාවේදී, එහි පැමිණි වත්තල පොලිසියේ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සඳහා භාරගෙන තිබේ.


