හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ පසුගිය 16 වැනිදා නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසයි.
සිද්ධියෙන් අනතුරුව හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, විමර්ශන අතරතුර ලැබුණු තොරතුරු මත ඝාතනය සිදුකිරීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ අපරාධයට ආධාර අනුබල ලබාදුන් බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකු ඊයේ (19) සවස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් බියගම පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේදී සහ නවගමුව පොලිස් වසමේ වඳුරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 29 වන රණාල හා පල්ලම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.


