හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතාගේ අවසන් කටයුතු අද (20) බොරැල්ල පොදු සුසාන භූමියේදී පූර්ණ පොලිස් උත්තමාචාර සහිතව සිදු කෙරිණි.
ඒ මහතා පසුගිය 17 වනදා උදෑසන සිය නිවස තුළදී වෙඩි වැදීමෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.
මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශනවලදී, එය සියදිවි හානිකර ගැනීමක් විය හැකි බවට සැක පළ කර ඇති අතර, ඔහුගේ ආරක්ෂක නිලධාරියාට අයත් ගිනි අවිය භාවිත කරමින් වෙඩි තබාගෙන ඇති බවටද සැක කෙරේ.
මේ අතර, සී.ඩී. වික්රමරත්න මහතාගේ දේහය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් විවෘත තීන්දුවක් ලබාදී තිබේ.
මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සේවය කළ සී.ඩී. වික්රමරත්න මහතා මියයන විට 63 හැවිරිදි වියේ පසුවිය.
1986 වසරේ ශ්රී ලංකා පොලිස් සේවයට එක්වූ ඔහු, 2019 පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සේවය අත්හිටුවීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.
ඉන් අනතුරුව 2020 නොවැම්බර් 27 වනදා ඔහු නිල වශයෙන් පොලිස්පති ධුරයට පත් වූ අතර, 2023 මාර්තු 25 වනදා විශ්රාම යාමට නියමිතව තිබියදී නව පොලිස්පතිවරයෙකු පත් කරන තෙක් එවකට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් කිහිප වතාවක් සේවා දිගු ලබාදීම හේතුවෙන් තවත් මාස අටකට ආසන්න කාලයක් එම ධුරයේ කටයුතු කළේය.
සී.ඩී. වික්රමරත්න මහතා අවසන් වශයෙන් පොලිස්පති ධුරයෙන් විශ්රාම ගනු ලැබුවේ 2023 නොවැම්බර් 23 වනදාය.


