ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කෙටිදුර ධාවන ශූරයෙකු වන යුපුන් අබේකෝන් තම ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ෆේස්බුක් සටහනක් මඟින් නිවේදනය කර තිබේ.
එම සටහනේදී ඔහු සඳහන් කරන්නේ, දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්වීම තනි පුද්ගල ජයග්‍රහණයක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ජයග්‍රහණයක් බව තමන් පසුව අවබෝධ කරගත් බවයි. තම පවුලට පමණක් අයත් වූ තරුණයෙකු මුළු රටේම ආදරය හා ගෞරවය දිනාගැනීම ජීවිතයේ විශේෂම අත්දැකීමක් වූ බවත්, ඒ වෙනුවෙන් තම රටට සහ ජනතාවට ගැඹුරු කෘතඥතාව පළ කරන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
තමන්ට සහය දැක්වූ පිරිස සාමාන්‍ය රසිකයන් නොව තම පවුලේ සාමාජිකයන් ලෙස දැනුණු බවද, තරග පැවැත්වෙන අවස්ථාවල නිදිවරා බලා සිටිමින්, යාච්ඤා කරමින් සහ උනන්දුවෙන් දිරිමත් කළ සියලු දෙනාගේ ආදරය හා විශ්වාසය තම ගමනේ ලොකුම ශක්තිය වූ බවද යුපුන් සඳහන් කරයි. එම විශ්වාසයට හානි නොවන ලෙස උපරිම කැපවීමෙන් සහ විනයකින් ක්‍රීඩා කිරීම තම වගකීමක් ලෙස සැලකූ බවද ඔහු පෙන්වා දෙයි.
ක්‍රීඩා දිවිය අවසන් කරන මෙම මොහොතේදී තම දෙමාපියන්, පවුලේ සාමාජිකයන්, මිතුරන්, තම පාසල් දෙක, ක්‍රීඩාවට යොමු කළ පුහුණුකරුවන් සහ ඉතාලියේ පුහුණු කණ්ඩායම ඇතුළු තම ගමනට දායක වූ සියලු දෙනාට යුපුන් ස්තූතිය පළ කර ඇත. ඔවුන්ගේ සහයෝගය නොතිබුණේ නම් තමන්ට මෙම දුර පැමිණීමට නොහැකිවනු ඇති බවද ඔහු සඳහන් කරයි.
එමෙන්ම, ක්‍රීඩා දිවියේ ආරම්භයේදී විශාල සහයෝගයක් ලබාදුන් ශ්‍රී ලංකා යුද හමුදාවට, විශේෂයෙන් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ නිලධාරීන් සහ සෙසු සාමාජිකයන්ටද ඔහු කෘතඥතාව පළ කර තිබේ.
ඊට අමතරව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන්ට, තම ජයග්‍රහණ වෙනුවෙන් කැපවූ ඉතාලි වෘත්තීය කණ්ඩායමට, රාජ්‍ය අමාත්‍යාංශ සහ කමිටු නිලධාරීන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සහය ලබාදුන් සියලු දෙනාටද ඔහු ස්තූතිය පුද කර ඇත.
අනාගතයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමිකර ගනිමින් රටේ නාමය ලෝකය පුරා ඔසවා තැබීමට හැකිවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරන බවද යුපුන් සිය සටහනේ සඳහන් කරයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාදුන් ජයග්‍රහණ හරහා තම රටට ණය ගෙවීමට හැකිවීම තමන්ට මහත් තෘප්තියක් බව පවසන ඔහු, තමන් පුහුණු කළ, තාක්ෂණික දැනුම ලබාදුන් සහ ශ්‍රී ලංකාවට ආදරය කළ විදේශීය රටවල් හා පුද්ගලයන් වෙත තවමත් ණයකාරයෙකු වී සිටීම පිළිබඳ කණගාටුවද ප්‍රකාශ කර ඇත.
තවද, තවත් වසර කිහිපයක් ක්‍රීඩා කළ හැකි වුවද ක්‍රීඩාවෙන් සමුගැනීම ඉතා අපහසු තීරණයක් වූ බවත්, එහෙත් අවසානයේ එම තීරණය ගැනීමට සිදුවූ බවත් ඔහු සඳහන් කරයි. එම තීරණයට හේතු වූ කරුණු සහ ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රීඩා පද්ධතිය පිළිබඳ තම අත්දැකීම් ඉදිරි පරිච්ඡේදයකදී ජනතාව සමඟ බෙදාගන්නා බවද යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් සටහන අවසන් කරමින් ප්‍රකාශ කර තිබේ.


