එක්සත් ජාතික පක්ෂය (එජාප) නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කළ නිවේදනය වහාම ඉල්ලා අස්කරගෙන ඒ වෙනුවට වඩාත් පැහැදිලි හා නිශ්චිත මාර්ගෝපදේශ සහිත නව ප්‍රකාශයක් නිකුත් කළ යුතු බව අවධාරණය කරයි.
පසුගිය ජූලි 9 වැනිදා ශ්‍රී ලංකා පොලිසිය, පැහැදිලි නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව කෙටි කාලයක් තුළ විශාල වත්කම් උපයාගත් හෝ සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.
එජාපය පෙන්වා දෙන්නේ පොලිසියේ මූලික වගකීම වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, නීතිය කඩකරන්නන් නීතිය ඉදිරියට පැමිණවීම සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම බවයි. එම මූලධර්මවලට පටහැනි වන ආකාරයෙන් මෙම නිවේදනය නිකුත් වී ඇති බවද පක්ෂය සඳහන් කරයි.
තවද, ශ්‍රී ලංකාවේ වත්කම් බද්දක් ක්‍රියාත්මක නොවන අතර, විදේශ රැකියා ඇතුළු නීත්‍යානුකූල ආදායම් මාර්ග හරහා බොහෝ දෙනා වත්කම් උපයාගෙන ඇති බවද එජාපය පෙන්වා දෙයි. බදු පද්ධතිය පිළිබඳ ප්‍රමාණවත් දැනුවත්භාවයක් නොමැතිව වත්කම් ප්‍රකාශ නොකළ පුද්ගලයන් ද සිටිය හැකි බවත්, “පැහැදිලි නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව උපයාගත් වත්කම්” ලෙස තීරණය කිරීම සඳහා නිශ්චිත ක්‍රියාපටිපාටියක් ද දැනට නොමැති බවත් එහි සඳහන් වේ.
එවැනි තත්ත්වයක් තුළ මෙම නිවේදනය ජනතාව බියගැන්වීමට හෝ අනවශ්‍ය ලෙස හිරිහැරයට ලක් කිරීමට යොදාගැනීමේ අවදානමක් පවතින බවද එජාපය අවධාරණය කරයි.
එමෙන්ම, මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර පැහැදිලි මාර්ගෝපදේශ සකස් කළ යුතුව තිබූ බවද පක්ෂය පෙන්වා දෙයි.
ඒ අනුව, වත්මන් නිවේදනය ඉල්ලා අස්කරගෙන ජනතාවට අපැහැදිලි තත්ත්වයක් ඇති නොවන පරිදි වඩාත් නිශ්චිත හා පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටියි.


