අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාල 23ක් මේ වසර තුළ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රජය බලයට පත්වීමෙන් පසු දූෂණය හා වංචාවට එරෙහි ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, එම කටයුතු සිදුකරන්නේ පෙර පැවති දූෂිත සහ බිඳවැටුණු පද්ධතියක් යළි සකස් කරමින් බව ද පැවසීය.
දූෂණ හා අල්ලස් නඩු විභාග කිරීම සඳහා කොළඹ නව අධිකරණ තුනක් ද ස්ථාපිත කර ඇති අතර, ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීමට නියමිත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කාර්යාල 23 සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
දූෂණ මර්දන වැඩපිළිවෙළ නඩු විභාගයට පමණක් සීමා නොකර, ජනතාවට ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් ලෙස ඉදිරියට ගෙන යන බව ද අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.


