ආර්ථික වශයෙන් බිඳවැටී විනාශයට පත්ව තිබූ රටක් භාරගත් වත්මන් රජය, ජනතාව මත අමතර ආර්ථික බරක් පටවන්නේ නැතිව රට ස්ථාවර මට්ටමකට ගෙන ඒමට සමත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2024 සැප්තැම්බර් මාසයට පෙර මෙරට ආර්ථිකය ඉතා අවදානම් තත්ත්වයක පැවති බවයි.
පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර හේතුවෙන් රටේ ජනගහනයෙන් සියයට 11කට පමණ බලපෑම් එල්ල වූ අතර, මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවද රජය ආර්ථිකය ඉතා ප්‍රායෝගික ලෙස කළමනාකරණය කරමින් සිටින බවද ඔහු පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවට විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කළද, එය එක්වරම ක්‍රියාත්මක කළ හැකි සරල ක්‍රියාවලියක් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඔහු සඳහන් කළේ නීති ප්‍රතිසංස්කරණ සහ පනත් අහෝසි කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි. ජනතාවට ලබාදුන් පොරොන්දුව පරිදි එම කාර්යය ඉටු කරන බවද ඔහු කියා සිටියේය.
එම පනත අහෝසි කිරීමෙන් පසුව ඇතිවිය හැකි නීතිමය හිඩැස පිරවීම සඳහා “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත” නමින් නව පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතින බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.
හිටපු අධිකරණ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු පාතාල නායකයෙකු සමඟ සිදු කළ බව කියන ගනුදෙනුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිද්ධිය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඔහු, සංවිධානාත්මක අපරාධ සහ දූෂිත ගනුදෙනු මැඩපැවැත්වීම සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය.
තවද, පසුගිය රජයන් විවිධ පොරොන්දු ලබාදුන්නද ඒවා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බව සඳහන් කළ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, වත්මන් රජය ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


