මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියක් සහ ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකු බියගන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයමින් සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස, සැකකරු ඊයේ (26) උදෑසන මිරිහාන පොලිස් බලප්‍රදේශයට අයත් දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය ජූලි 19 වැනිදා දෙහිවල පොලිස් වසමේ නිසල අරණ සුසාන භූමිය තුළදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඊට අමතරව, ගල්කිස්ස පොලිස් බලප්‍රදේශයේදී ගිනි අවියක් එල්ල කර පුද්ගලයෙකු බියගන්වා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ.
එම විමර්ශන අතරතුර අනාවරණය වූ තොරතුරු අනුව, මෙම අපරාධවලදී යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවට සැක කෙරෙන අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 200ක් ද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මෙම අපරාධ මෙහෙයවා ඇත්තේ මේ වන විට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් බවයි.
අපරාධ සඳහා භාවිත කළ ජංගම දුරකථන තුනක් සහ එම අපරාධවලට සම්බන්ධව සැකකරුට ලබාදී තිබූ රුපියල් ලක්ෂ 2ක මුදලින් ඉතිරිව තිබූ රුපියල් 55,000ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.


