― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅවාරේ සිරිපාදේ යන සංචාරකයින්ගෙන් මුදල් අයකරලා

අවාරේ සිරිපාදේ යන සංචාරකයින්ගෙන් මුදල් අයකරලා

අවාරයේ හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ (04) සිට මුදල් අය ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවැසූහ.

උන්වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රජ සමයේ සිට වාරයේ සහ අවාරයේ ශ්‍රී පාදස්ථානය වැද පුදා ගැනීමට පැමිණෙන කිසිදු වන්දනාකරුවෙකුගෙන් මුදල් අය කිරීමක් සිදු නොකළ බවත්, වර්තමානයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන හෝ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අවාරයේ මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණ ක්‍රියාවක් බවත්ය.

තමන්ගෙන් අවසර ලබාගෙන භූතානයෙන් පැමිණි සංචාරකයන් පිරිසක් අද (05) අළුයම ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණි බවත්, එම සංචාරකයන්ගේ නල්ලතන්නිය ශ්‍රී පාදස්ථාන ප්‍රධාන මාර්ගයේ මකර තොරණ අසළ පිහිටි වනජීවි සංරක්ෂණ කාර්යාලයෙන් එක් සංචාරකයෙකුගෙන් ඩොලර් 5 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇති බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

ශ්‍රී පාද රත්නපුර සහ හැටන් මාර්ගයේ පියගැටපෙල ඇතුළු වන්දනාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට තමන් කටයුතු කළ බවත්, ඒ සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කිසිදු අයුරකින් සහයෝගයක් ලබා නොදී අවාරයේ ශ්‍රී පාදස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රී පාදස්ථානය සංචාරය කිරිම ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ.

ශ්‍රී පාදස්ථානය අවාරයේ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවි සංරක්ෂණ කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ ශ්‍රී පාදස්ථානයේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා 2022 වසරේ වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවයි.

එම ගැසට් පත්‍රය අනුව ඊයේ (04) පස්වරුවේ සිට නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රී පාදස්ථාන සංචාරයේ යෙදෙන විදේශිය සංචාරකයෙකුට ඩොලර් 5 ක මුදලක්, සාර්ක් රටවල්වලින් පැමිණෙන විදේශිය සංචාරකයන්ට ඩොලර් 4ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙසට තමන්ට වනජීවි දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරින්ගෙන් උපදෙස් ලැබුණු බවයි.

දේශිය සංචාරකයන්ට රුපියල් 40ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් මෙම ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම ශ්‍රි පාද අවාරයේ පමණක් සිදු කරන බවයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරය සදහා පැමිණෙන සංචාරකයන්ට වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම නල්ලතන්නිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේද විරෝධය මතු වි ඇත.