― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකඳානේ වෙඩි තැබීමට 'කොට්ටාවේ සුද්දා' අල්ලයි

කඳානේ වෙඩි තැබීමට ‘කොට්ටාවේ සුද්දා’ අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ මෙහෙයවීමෙන් පසුගිය වසරේ කඳාන ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු සමඟ පැමිණි යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තු මස 04 වැනිදා ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.

ඉකුත් වසරේ අවස්ථා කිහිපයක දී අදාළ ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් දී කප්පම් ඉල්ලා ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඔහුව බිය ගැන්වීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

මෙම වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සිදු නොවූ අතර ව්‍යාපාරිකයාගේ නිවසට සහ ගේට්ටුවට හානි සිදුව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය පරීක්ෂණ පවත්වන අතර තුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද විමර්ශනයක් ආරම්භ කළා. ඒ අනුව මෙම සිද්ධියට සැකපිට පුද්ගලයින් 14 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු මේ වනවිට විදේශ රටකට පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. කෙසේ වෙතත් වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ සැකකරු විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මත්තේගොඩ නගරයේදී අද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල, සූරියආර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ‘කොට්ටාවේ සුද්දා’ නැමැති අයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ඇත්තේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව තමන් දොම්පේ ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිට ඉකුත් දෙසැම්බර් මාසයේ දී ඇපමත නිදහස්ව ආ බවයි.

එමෙන්ම අදාළ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ අනුදැනුම මත සිදුකළ බව ද සැකකරු විසින් අනාවරණය කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කඳාන පොලිසියට භාරදීමට නියමිතය.