ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ තානේ ප්රදේශයේදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ඉරිදා මුස්ලිම් පල්ලියේ සවස යාච්ඤාව නිමවා නිවසට යන අතරතුරදී මුදල් ලබාගැනීමේ අරමුණින් එම ප්රදේශයේම පදිංචි පුද්ගලයෙක් විසින් මෙම දරුවා පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
තානේ ප්රාන්තයේ බද්ලාපූර් ප්රදේශයේ කෝරෙගාන් ගම්මානයේ පදිංචිව සිටි 9 හැවිරිදි ඉබාද් නම් පිරිමි ළමයෙකු මෙලෙස ඝාතනය කර තිබේ.
නව නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 23 ක මුදලක් ලබා ගැනීමේ අරමුණින් ප්රධාන සැකකරු වන සල්මන් මවුලවි දරුවා පැහැරගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. ඔහු වෘත්තියෙන් රෙදි මසන්නෙක්.
සිද්ධිය වූ දින දරුවා ප්රමාද වී නිවසට නොපැමිණීම නිසා කලබලයට පත් වූ ඔහුගේ දෙමාපියන් ඔහු සොයා ගැනීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී මෙම දරුවාගේ පියාට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.
එම දුරකථන ඇමතුමෙන් දරුවා පැහැරගත් පුද්ගලයා පියාට පවසා ඇත්තේ මුදල් ලබා නොදෙන්නේ නම් දරුවා මරාදමන බවටයි.
වැඩි විස්තර නොමැතිව ඇමතුම විසන්ධි කළ බව දරුවාගේ පියා පවසනවා.
ළමයාගේ අතුරුදන්වීම ගැන දැනගත් ප්රදේශවාසීන් සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර පොලිසියද දැඩි සෝදිසියක් දියත් කළේය.
ඒ අනුව ඊයේ පස්වරුවේ පොලිසිය සැකකාර සල්මන්ගේ නිවස සොයාගෙන එහි සෝදිසි කිරීමේදී නිවස පිටුපස ගෝනියක දමා තිබූ පිරිමි ළමයාගේ මළ සිරුර හමුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සල්මාන් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.