ශ්රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින බී වයි ඩී වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ එකඟත්වය පළ කළා.
රේගුව මගින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණයේ දී සලකා බැලු අවස්ථාවේ මෙම එකඟත්වය පළ කර තිබෙනවා.
පෙත්සම අද (07) කැඳවුයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කරුණු දැක්වු අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා සඳහන් කළේ රඳවාගෙන ඇති වාහන කොන්දේසි කිහිපයක් යටතේ මුදා හැරීමට සලකා බැලිය හැකි බවයි.
රුපියල් බිලියන 3.6කට ආසන්න මුදලක් රාජ්ය බැංකුවක ඇපකරයක් වශයෙන් පෙත්සම්කාර සමාගම ඉදිරිපත් කළ යුතු අතර ඊට අදාළ පොලිය සමාගම ගෙවීමට එකඟ විය යුතු බවත් කොන්දේසිවල සඳහන් වනවා.
වාහන පිළිබඳ රේගුව මගින් සිදුකරන පරීක්ෂණවලට පෙත්සම්කාර පාර්ශවය සහාය විය යුතු බවත් එහිදැක්වෙනවා.
කොන්දේසි අතරින් බොහෝමයකට එකඟ බව පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නා.


