අද (01) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සුගීෂ්වර බණ්ඩාර මහතා ජූලි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ඔහුගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ජූලි 08 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දුන්නේය. එදින දක්වා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසද මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
මේ අතර, මෙම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව විමර්ශන සිදු කරන මධ්‍යම අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දී ඇත.
මීට පෙර ජූනි 18 වනදා කොල්ලුපිටිය ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සුගීෂ්වර බණ්ඩාර මහතා ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, පසුව එම කාලය දීර්ඝ කරමින් මෙම නව නියෝගය ලබා දී තිබේ.
2022 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙසත්, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට ඔහුට එල්ල වී ඇති චෝදනාව මෙහිදී සැලකේ.


