යාපනය දිස්ත්‍රික්කයේ “සිසුසැරිය” පාසල් ප්‍රවාහන සේවයට අයත් බස් රථ දෙකක ඩිජිටල් ගෙවීම් පද්ධතියක් නියමු ව්‍යාපෘතියක් ලෙස ඊයේ (01) සිට ආරම්භ කර තිබේ.
ඒ අනුව උසන් සිට යාපනය සහ උසන් සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වන එම “සිසුසැරිය” බස් රථ දෙක තුළ සිසුන්ට ගමන් ගාස්තු ඩිජිටල් ක්‍රමවේදයක් හරහා ගෙවීමට අවස්ථාව සලසා ඇත.
සිසුසැරිය සේවාව යටතේ පාසල් සිසුන් සාමාන්‍ය බස් ගාස්තුවෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් පමණක් ගෙවන අතර ඉතිරි මුදල රජය විසින් දරාගනු ලබයි.
මෙය පාසල් සිසුන්ට ආරක්ෂිත හා සහනදායී ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන ජාතික වැඩසටහනකි.
මෙම නව ඩිජිටල් පද්ධතියේ විශේෂත්වය වන්නේ, සිසුවෙකු බස් රථයට ගොඩවීමේදී සහ බැස යාමේදීද දෙමාපියන්ගේ ජංගම දුරකථනයට ස්වයංක්‍රීය කෙටි පණිවිඩ (SMS) යැවීමයි.
ඒ හරහා දරුවන්ගේ පාසල් ගමන් පිළිබඳ තොරතුරු කඩිනමින් ලබාගැනීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් ලබාගැනීමටත් දෙමාපියන්ට හැකියාව ලැබේ.


