දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු මුහුණ දෙන හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට එරෙහි අධි චෝදනා අද (2) කොළඹ මහාධිකරණයේදී භාරදෙනු ලැබුවා.
මෙම නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති අතර, අධි චෝදනා භාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ සිදු කෙරුණා.
ඉන් අනතුරුව, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදා හැරීමට අධිකරණය නියෝග කළා.
එමෙන්ම, නඩුවේ මීළඟ විභාගය සඳහා එය ජූලි 22 වැනිදා යළි කැඳවීමටද නියම කර තිබෙනවා.
නඩු ගොනුවට අනුව, 2014 ජනවාරි 1 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායී මිලකට ලබාදීම සඳහා රජයේ වියදමින් ආනයනය කළ බීජ බඩ ඉරිඟු කිලෝග්‍රෑම් 36,000ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට බලපෑම් කර, ඉදිරි ජනාධිපතිවරණයේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදා හැරීම මඟින් දූෂණ වරදක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව, එම චෝදනා පදනම් කරගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.


