ඩෙංගු වයිරසයේ කාණ්ඩ හතරට එරෙහිව මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා ජර්මනියේ නිෂ්පාදිත කිව් ඩෙංගා (Q DENGA) එන්නත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම එන්නත ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍යවරු සඳහන් කර ඇත.
මෙම එන්නතේ එක් මාත්‍රාවක මිල ඇමරිකානු ඩොලර් 40ත් 85ත් අතර වන අතර, සිරුර තුළ ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් ඇති කිරීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබා දිය යුතු බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.
ඩෙංගු වයිරසයට එරෙහිව ආරක්ෂාව ලබා දෙන මෙම එන්නත මිල අධික බැවින්, එන්නත්කරණ වැඩසටහන පෞද්ගලික අංශය හරහා ආරම්භ කිරීම වඩාත් සුදුසු බවට වෛද්‍ය විශේෂඥයන් යෝජනා කර තිබේ.
දැනට ලෝකයේ රටවල් 41ක පමණ භාවිත වන මෙම එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (06) ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.


