මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන් 40 දෙනකු ඩෙංගු රෝගයෙන් මියගිය බවට පැතිර යන ප්‍රකාශ අසත්‍යයක් – ඇමැති නලින්ද ජයතිස්ස
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවූවන් 40 දෙනකු ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මියගොස් ඇති බවට පළවන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රැඳවූවන්ගේ මරණ වෛද්‍යවරුන්ගේ හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හිඟයක් හේතුවෙන් සිදුවී නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා, බන්ධනාගාර රෝහලේදී ප්‍රතිකාර ලබාදීමට නොහැකි තත්ත්වයක් ඇතිවුවහොත් ඔවුන් වෙනත් රෝහල් වෙත යොමු කරන බවද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීමේදී නිලධාරීන් 7 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, රාජකාරියේ නිරතව සිටියදී ගැටුම පාලනය කිරීමට මැදිහත් වූ නිලධාරීන් එලෙස මියගිය බවත් අමාත්‍යවරයා පැවසීය. එම සිදුවීම සම්බන්ධයෙන් රජය සිය කනගාටුව පළ කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳව විවිධ අංශ මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
මීගමුව පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත්, එම වාර්තා මත ඉදිරි තීරණ ගැනීමට හැකි වනු ඇති බවත් ඔහු පැවසීය.
රැඳවූවන් 40 දෙනකු ඩෙංගු රෝගය හේතුවෙන් මියගොස් ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අවධාරණය කළ අමාත්‍යවරයා, ඕනෑම රෝගියකුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
බන්ධනාගාරය තුළ ඩෙංගු රෝගියකු එක් අයකු පමණක් වාර්තා වී ඇති බවත්, ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. වෛද්‍යවරුන්ගේ හෝ සෞඛ්‍ය සේවක හිඟයක් හේතුවෙන් කිසිදු රැඳවියකු මියගොස් නොමැති බවද ඔහු අවධාරණය කළේය.
බන්ධනාගාර රැඳවූවන්ටද සාමාන්‍ය ජනතාවට ලබාදෙන ආකාරයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවත්, අවශ්‍ය අවස්ථාවලදී ඔවුන් වෙනත් රෝහල් වෙත යොමු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පාලනය කිරීම සඳහා සම්පූර්ණ ශක්තිය යොදා පියවර ගත් බවද ඔහු සඳහන් කළේය. මෙරට බන්ධනාගාර තුළ තදබදය බරපතළ ගැටලුවක් වී ඇති බවත්, 11,000ක් පමණ රඳවා තැබිය හැකි පහසුකම් ඇති ස්ථානවල විශාල පිරිසක් රඳවා සිටින බවත් පැවසීය.
නීතිය ක්‍රියාත්මක කිරීම සහ මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් රැඳවූවන් සංඛ්‍යාව 40,000 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.
මීගමුව බන්ධනාගාරයේ ගැටුම පාලනය කිරීමට මැදිහත් වූ නිලධාරීන් තම රාජකාරිය ඉටු කරමින් සිටි බවත්, එහිදී රැඳවූවන් විසින් විශාල හානි සිදුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාර සිදුවීම හා මෙය සමාන නොවන බවත්, මෙම සිද්ධියේදී එවැනි බලයක් භාවිත කර නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය. මියගිය නිලධාරීන් 7 දෙනාට අමතරව තවත් නිලධාරීන් සිව්දෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ඔහු සඳහන් කළේය.
බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ගැටලු අතර නිලධාරී හිඟය, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය සහ නඩු කටයුතු ප්‍රමාද වීමද පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම ගැටලු විසඳීම සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලන ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඔහු පැවසීය.
බන්ධනාගාර පුළුල් කිරීම සහ අධි ආරක්ෂිත බන්ධනාගාර පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහන් ආරම්භ කර ඇති බවත්, පරීක්ෂණ වාර්තා අවසන් වූ පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ කළ හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් රට තුළ පැතිර ඇති බවත්, ඒවාට විවිධ ආයතනවල පුද්ගලයන් සම්බන්ධ වී ඇති බවට තොරතුරු පවතින බවත් ඔහු පැවසීය. එවැනි ක්‍රියා පාලනය කිරීම සඳහා තාක්ෂණික උපකරණ ලබාදෙමින් කටයුතු කරන බවද සඳහන් කළේය.
විදේශගතව සිටින පාතාල සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
බන්ධනාගාර තුළ සිට මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවීම වැළැක්වීම සඳහා විශේෂ පියවර ගනිමින් සිටින බවත්, එම කටයුතු සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, බන්ධනාගාර පහසුකම් වැඩිදියුණු කිරීම, තාක්ෂණය ලබාදීම සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහාය ලබාදීම සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


