විශ්වවිද්‍යාල සිසුන් අතර ඩෙංගු පැතිරීමක් – මාර්ගෝපදේශ නිකුත් කරයි
මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ඩෙංගු වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මාර්ගෝපදේශ මේ වන විටත් නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පැවසීය.
ඩෙංගු ආසාදිත ශිෂ්‍යයන් වැඩි වශයෙන් වාර්තා වූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර, අනෙකුත් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
සෞන්දර්ය විශ්වවිද්‍යාලය තුළ ඩෙංගු වයිරසය පැතිරීම හේතුවෙන් පසුගිය 2 වැනිදා තාවකාලිකව වසා දැමූ අතර, එය ලබන 13 වැනිදා යළි විවෘත කිරීමට නියමිත බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඊයේ (6 වැනිදා) සිට වසා දැමූ මොරටුව විශ්වවිද්‍යාලය ලබන 21 වැනිදා නැවත විවෘත කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.
සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව සියලුම විශ්වවිද්‍යාල තුළ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත්, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


