හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරු මුවාවෙන් මුදල් වංචාවක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්
හෙද නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලබාදෙන බව පවසමින් වංචනික ලෙස මුදල් අයකරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අමාත්‍යාංශ ලේකම්වරයා, එවැනි පුද්ගලයන්ගේ වංචනික ක්‍රියාකාරකම්වලට හසු නොවන ලෙස සියලු හෙද නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
නිවේදනයේ සඳහන් වන්නේ හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරු කටයුතු නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අදාළ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පමණක් සිදුකරන බවයි.
එමෙන්ම, අමාත්‍යාංශවල බලයලත් නිලධාරියෙකු විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමකට හැර වෙනත් කිසිදු පාර්ශවයකට හෙද නිලධාරීන් විසින් තම තොරතුරු ලබා නොදිය යුතු බව ද අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කර තිබේ.
මෙවැනි වංචාකාරී හෝ දූෂිත ක්‍රියාකාරකම් පිළිබඳ කිසියම් තොරතුරක් ඇත්නම්, ඒවා වහාම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දෙන ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරයා මහජනතාවගෙන් සහ හෙද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.


