වී අලෙවි මණ්ඩලය විසින් ලබන සඳුදා (13) සිට වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මේ වන විට වැඩි වශයෙන් වී අස්වනු නෙළන ප්‍රදේශවල පිහිටි ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව උතුරු, නැගෙනහිර සහ අම්පාර දිස්ත්‍රික්ක ආශ්‍රිතව වී අස්වනු නෙළීම වැඩි වශයෙන් සිදුවන බැවින් එම ප්‍රදේශවලින් වී මිලදී ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන බවද සභාපතිවරයා පැවසීය.
වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කටත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කටත් මිලදී ගැනීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා අත්පත් කර ගැනීමේ කටයුතු මේ වන විට සිදුකර ඇති බවත්, දිවයින පුරා ස්ථාන 143ක පිහිටි ගබඩාවලින් වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවත් මංජුල පින්නලන්ද මහතා පැවසීය.
එම ගබඩා සම්පූර්ණයෙන් පිරී ගියහොත් ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික අංශයේ ගබඩා භාවිතයට ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා රජය විසින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක මුදලක් ලබා දී ඇති අතර, ඊට අමතරව ඔඩපන ණය ක්‍රමය යටතේ රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර ඇති බවද සභාපතිවරයා පැවසීය.
මෙම මුදල් මඟින් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී තොග රැස්කර ගැනීම සඳහා පහසුකම් සැලසෙන බවත්, එම කටයුතු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුකරන බවත් ඔහු පැවසීය.
වී මිලදී ගැනීම සහ ඔඩපන ණය යෝජනා ක්‍රමය පිළිබඳව අදහස් දක්වමින් වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, මෙවර ඔඩපන ණය පහසුකම් සුදුසුකම් ලබන සමූපකාර ආයතන සඳහාද ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
රජයේ ආරක්ෂිත වී තොගය පවත්වා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බවත්, වී අලෙවි මණ්ඩලය සෑම අවස්ථාවකදීම ප්‍රමිතියෙන් යුතු වී පමණක් ගබඩා කරන බවත් ඔහු පැවසීය.
ආරක්ෂිත තොගයක් ලෙස වී ගබඩා කිරීමට සිදුවන බැවින් එහි තෙතමනය සියයට 14ක් සහ බොල් ප්‍රතිශතය සියයට 9කට අඩු මට්ටමක තිබිය යුතු බවත්, එම ප්රමිතීන් පරීක්ෂා කිරීමෙන් පසු පමණක් වී මිලදී ගන්නා බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙවර වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ මිලදී ගනු ලබන්නේ වත්මන් කන්නයේ වී අස්වැන්න බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


