ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුගිය දිනවල සිදු කළ ප්රතිසංවිධාන කටයුතු අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා ලෙස අලුතින් පත් වූ අභීත රත්නායක මහතාගේ වැඩ ආරම්භ කිරීමේ උත්සවය වලපනේදී පැවැත්විණි.
එම අවස්ථාව හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, බදුල්ල දිස්ත්‍රික් නායක දේනුක විදානපතිරණ, රත්නපුර දිස්ත්‍රික් නායක ජානක වක්කුඹුර සහ ගම්පහ දිස්ත්‍රික් නායක ඉන්දික අනුරුද්ධ යන හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
ඉදිරි ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බවට සමීක්ෂණ වාර්තා අනාවරණය කර ඇති බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශක්තිය නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ගොඩනැගීම සඳහා අභීත රත්නායක මහතාට දේශපාලන වගකීම භාරදීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කළ බවත් සී.බී. රත්නායක මහතා මෙහිදී පැවසීය.
ඡන්ද ලක්ෂ දෙකහමාරක පමණ මට්ටමකට පක්ෂය පත්ව තිබූ අවස්ථාවකදී පවා පක්ෂයට ශක්තිය ලබා දුන් නාමල් රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරයා බවට පත් කිරීමේ දේශපාලන ගමන නුවරඑළියෙන් ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.
අදහස් දක්වමින් හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා කියා සිටියේ තමන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මහනුවරට ගියද, තවමත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායකත්වය තමන් සතු බවයි.
තම දේශපාලන ගමන ආරම්භ කළ අවස්ථාවේදී වලපනේ සංවර්ධනය සඳහා ජනතාවගෙන් ලබාගත් වරම අනුව අද දක්වාම ගම වෙනුවෙන් වගකීමෙන් කටයුතු කළ බවද ඔහු පැවසීය.
අතීතයේ අඳුරේ පැවති වලපනේ ප්‍රදේශයට විදුලිය ලබාදීම, අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම මෙන්ම ජනතාවගේ ආර්ථිකය සහ ස්වයං රැකියා අවස්ථා වැඩිදියුණු කිරීමට කටයුතු කළ බවද සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.
ජාතික දේශපාලනයට දායක වීමට තරුණ පරපුරට අවස්ථාව ලබාදිය යුතු කාලය පැමිණ ඇති බවත්, ඒ අනුව වලපනේ වගකීම අභීත රත්නායක මහතා වැනි තරුණ නායකත්වයකට භාරදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එම තරුණ නායකත්වය සමඟ ඉදිරි දේශපාලන ගමන ඉදිරියට ගෙන යාම සඳහා වලපනේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට ආරාධනා කරන බවද ඔහු පැවසීය.
වර්තමාන රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ඇති බවත්, අද පරාජිත තත්ත්වයක සිටියද ඉදිරියේදී ජයග්‍රහණය කරා යන ගමන ආරම්භ කරන බවත් සී.බී. රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අනතුරුව සභාව ඇමතූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වලපනේ නව ආසන සංවිධායක අභීත රත්නායක මහතා පැවසුවේ නූතන පරපුරට ගැළපෙන දේශපාලන ගමනක් නාමල් රාජපක්ෂ මහතා සමඟ ගොඩනැගීමට අපේක්ෂා කරන බවයි.
තම පියාට ලබාදුන් සහයෝගයට සමාන සහයෝගයක් ඉදිරි දේශපාලන ගමන සඳහා නුවරඑළිය ජනතාවගෙන් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
වර්තමාන රජය කිසිදු වැඩකටයුත්තක් සිදු නොකරන බවත්, එම තත්ත්වය හේතුවෙන් ඉදිරි ජයග්‍රහණය තහවුරු වී ඇති බවත් අභීත රත්නායක මහතා පැවසීය.
පළපුරුද්ද සහ අත්දැකීම් නොමැති රජයකින් පසුව නව රජයක් ගොඩනැගීම සඳහා තම පක්ෂය සූදානම් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙහිදී නව ආසන සංවිධායකවරයාට සුබ පැතුම් එක් කරමින් බදුල්ල දිස්ත්‍රික් නායක දේනුක විදානපතිරණ, රත්නපුර දිස්ත්‍රික් නායක ජානක වක්කුඹුර සහ ගම්පහ දිස්ත්‍රික් නායක ඉන්දික අනුරුද්ධ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදහස් දැක්වූ අතර, වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවද ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළහ.


