2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන අද (13) සිට ආරම්භ කිරීමට අවශ්‍ය සියලු සූදානම් අවසන් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.
යල කන්නයේ වී අස්වනු නෙළීම දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට ආරම්භ වී ඇති බැවින්, වැඩි අස්වැන්නක් ලැබෙන ප්‍රදේශවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් වී ගබඩා විවෘත කර තැබීමට පියවර ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.
ඒ අනුව, දිවයින පුරා පිහිටි වී ගබඩා 143ක් හරහා ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සිදු කිරීමට නියමිතය.
තවද, එම ගබඩාවල ධාරිතාව සම්පූර්ණ වූ අවස්ථාවලදී ආසන්නයේ පිහිටි පෞද්ගලික අංශයට අයත් ගබඩා භාවිතයට ගැනීම සඳහා ද සාකච්ඡා පවත්වා ඇති බව සභාපතිවරයා පැවසීය.
ඇතැම් වී මෝල් හිමියන් සහ පෞද්ගලික ආයතන එම ගබඩා නොමිලේ භාවිතයට ලබා දීමට එකඟතාව පළ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


