ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ලබන ජූලි 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.
වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදය ඔස්සේ සැකකරු අද මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර, නඩුව මහෙස්ත්‍රාත් ඒ. දර්ශිනි මහත්මිය ඉදිරියේ විභාගයට ගැනිණි.
2008 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සිදුවූ මිනීමැරුම් පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුවකට අදාළව මෙම රක්ෂිත බන්ධනාගාර නියෝගය නිකුත් කර තිබේ.
එම නඩුවේ තුන්වන සැකකරු ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නම් කර ඇති අතර, කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ ඝාතන පහකට අදාළ චෝදනා තුනක් සහ තවත් එක් චෝදනාවක් සම්බන්ධයෙන් අද අධිකරණයේදී කරුණු සලකා බැලිණි.
නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර, සැකකාර පිල්ලෙයාන් වෙනුවෙන් නීතිඥවරුන් දෙදෙනෙකු කරුණු ඉදිරිපත් කළහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ, 2008 වසරේදී T-56 ගිනිඅවි භාවිත කර සිදුකරන ලද ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත මෙම නඩු කටයුතු ආරම්භ කර ඇති බවයි.
එම තොරතුරු අනුව චන්ද්‍රකාන්තන් නමැත්තා පහත සඳහන් සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
- 2008 ජනවාරි 09 – මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
- 2008 මැයි 22 – කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
- 2008 අගෝස්තු 20 – වවුනතීව් කොතියපුල ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් රාත්‍රී කාලයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
අදාළ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන ජූලි 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
මේ අතර, මෙම සිද්ධියට අදාළව කල්ලඩි ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පවතින නඩුව ලබන ඔක්තෝබර් 29 වනදා දක්වා කල් තැබීමටද අධිකරණය නියෝග කර තිබේ.


